August 24, 2019

චීනයෙන් දුම්වැටි ගෙන්වීමට මංගල ගත් තීරණයට ADIC විරුද්ධ වෙයි

ශ්‍රී ලංකාවට දුම්වැටි ආනයනය කිරීම සඳහා අලුතින් බලපත්‍ර ලබාදීමට මුදල් අමාත්‍යාංශය ගනු ලැබු තීරණය ආර්ථීකමය වශයෙන්  රටට අතිශයින්ම හානිදායක තීරණයක් බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි "(ADIC) Alcohol and Drug Information center".

දුම්වැටි යනු සෞඛ්‍යමය හා ආර්ථීකමය වශයෙන් රටකට ඉතා අවාසිදායක භාණ්ඩයක් බව වන බව ඔවුන් සඳහන් කරයි.

දුම්වැටි බීම නිසා වසරකට ශ්‍රී ලාංකිකයන් අකාලයේ 20,000 පමණ මරණයට පත් කරන අතර තවත් විශාල පිරිසක් සිගරට් බීම නිසා ඇතිවන රෝගාබාධ හේතුවෙන් ප්‍රතිකාර ලබයි. 

මීට අමතරව අක්‍රීය දුම්පානයට ගොදුරු වන සිගරට් නොබොන පිරිස් ද පීඩාවන්වලට හා රෝගවලට ලක් වී ඇත. 

විශේෂයෙන්ම ගර්භණී සමය තුළ දුම්පානයට නිරාවරණය වීම මළ දරු උපත් ඇතිවීමට බලපායි.
 
සිගරට් බීමෙන් රෝගීවන සහ මියයන පිරිස් වෙනුවෙන් 2015 වසරේ පමණක් රජයට රුපියල් බිලියන 90 ක සෞඛ්‍ය වියදමක් දරන්නට සිදු වී තිබේ. 

අපේ රටේ දුම්වැටි බොන්නන් දිනකට රුපියල් කෝටි 40කට ආසන්න මුදලක් දුම්වැටි සඳහා වියදම් කරයි. 

මොවුන් බහුතරය අඩු ආදායම් ලබන්නන් බව අධ්‍යයන වලින් තහවුරු වී තිබේ. 

මෙවැනි තත්ත්වයක් තිබියදී 2019.05.30 දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා රට තුළ චීන සේවකයන්  විශාල පිරිසක් සේවය කරන බවත්,  එම සේවකයින්  සඳහා චීනයේ  නිෂ්පාදිත දුම්වැටි  ලබාදීම වෙනුවෙන්  චීන  දුම්කොළ සමාගමක් ලංකාවට ගෙන ඒමට සුදානම්  බවත් පැවසු බව ඔවුන් පෙන්වා දෙයි. 

එමගින් රජයට බදු ලෙස අමතර ආදායමක් ලබා ගත හැකි බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටි බවද මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

ඔවුන්කළ නිවේදනය තුළ අවධානය යොමු කරන්නේ , පවතින සමාගමට අමතරව පිටරටින් සිගරට් ආනයනය කිරීමට නව බලපත්‍ර ලබාදීම අපේ රටේ ආර්ථීක, සෞඛ්‍ය හා සමාජීය අංශ ඔස්සේ රටට සහ සමාජයට බලපාන අයුරුය. 

1.මුදල් අමාත්‍යාංශයේ මුලික අරමුණ වන්නේ, රජයට ලැබෙන ආදායම් වැඩිකර ගැනීම නම්, ඔවුන්  කළ යුත්තේ  දැනට පවතින දුම්වැටි සමාගමේ නිෂ්පාදනයන් සඳහා නිවැරදි බදු ක්‍රමයක් හඳුන්වාදී එම මුදල් රජයට ලබා ගැනීමයි.  

එවන් හැකියාවක් තිබෙන මොහොතක, වෙනත් දුම්කොළ සමාගමක් ගෙන්වා එම අරමුණ ඉටු කරගැනීමට උත්සාහ කිරීම ගැටළු සහගතය. 

මුදල් අමාත්‍යාංශයේ දෝෂ සහිත බදු ප්‍රතිපත්තිය නිසා රජයට ලබාගත හැකිව තිබු විශාල දුම්කොළ බදු ප්‍රමාණයක් මේ මොහොතෙත් අහිමි වෙමින් පවතී. පසුගිය වසර පහක කාලය (2013-2018) තුළ පමණක් රටට ලැබීමට තිබු රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් රටට අහිමි විය. 

එබැවින්, පවතින දුම්කොළ සමාගමෙන් පවා නිවැරදි බදු අය කරගැනීමට ක්‍රමවේදයක් සකස් කිරීමට අසමත් මුදල් අමාත්‍යාංශය නව සමාගම් හඳුන්වාදීම මගින් ආදායම් වැඩි කරගන්නවා යැයි ප්‍රකාශ කිරීම ම විහිළුවකි.

2.රජය විසින් පසුගිය වසර 5ක කාලය තුළ සැළකිය යුතු මුදලක් දුම්කොළ පාලනය සඳහා යොදවා ඇත. එම දුම්කොළ පාලන ක්‍රමවේද ලෙස සිදුකරන ලද  ප්‍රතිපත්ති සම්පාදනය, නීති සම්පාදනය, පවතින නීති කි්‍රයාත්මක කිරීම සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අප රටේ සිගරට් භාවිතය 14% ක් වැනි අගයක පවතින අතර, සතුටුදායක කරුණ වන්නේ අප දැන් ගමන් කරන්නේ සිගරට් භාවිතය අඩු වෙමින් යන දිශාවටය. 

ලෝක බැංකුවේ නිර්දේශ අනුවද, දියුණුවෙමින් පවතින රටවල දුම්පානයේ ප්‍රවණතාවය වැඩිවීම එම රට ආර්ථීකව දුර්වලවීමට බලපාන බව පෙන්වා දෙයි. එමෙන්ම දුම්වැටි බීම අඩුවීම තුළ අඩු ආර්ථීක මට්ටම් සහිත පවුල්වල ආර්ථීකය ශක්තිමත් වන බව පෙන්වාදී ඇත. 

නමුත් දුම්වැටි ආනයනය කිරීම සඳහා නව බලපත්‍ර නිකුත් කිරීමේ තීරණය සමග අප රටේ දුම්වැටි භාවිතය වැඩිවන ප්‍රවණතාවයක් ඇතිවීම වැළැක්විය නොහැකිය. 

3. ලෝක සෞඛ්‍ය සංවිධානය  : (WHO) විසින් දුම්කොළ පාලනය සඳහා, දුම්කොළ පාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (FCTC)හඳුන්වා දී තිබේ. 

දුම්බීම නිසා සිදුවන ආර්ථීක හානිය අවම කිරීම මෙම සම්මුතියේද ප්‍රධාන අරමුණක් වී ඇත. අප රටද එම සම්මුතියට අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා එම ගිවිසුමට අත්සන් කර ඇති අතර, එම නිර්දේශ සාර්ථකව ක්‍රියාවට නංවමින් සිටින රටවල් අතර පෙරමුණේ සිටී.

4. දුම්බීම නිසා ශ්‍රී ලංකා රජයට වසරකට සිදුවන ආර්ථීක පාඩුව රුපියල් බිලියන 100 කට ආසන්න බව ලෝක සෞඛ්‍ය සංවිධානය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසින් ගණනය කර ඇත. 

මෙම දුම්වැටි සඳහා බලපත්‍ර ලබාදීමේ තීරණයත් සමග මෙම පාඩුව  බෙහෙවින් වැඩිවීමට ඉඩ ඇත. 

5. දුම්වැටි සමාගම් කිහිපයක් තිබීම තුළ වෙළඳපොළ තරගකාරීත්වයක් ඇතිවීමෙන් සිගරට් අලෙවි කිරිමේ තරගකාරිත්වය වැඩිවීම හේතු කොටගෙන ප්‍රචාරණ උපක්‍රම වැඩිවීම, දුම්කොළ සමාගමේ මැදිහත්වීම ඉහළයාම, දේශපාලඥයන් මුදලට ලබාගැනීමට උත්සහ කිරීම, ඡන්ද ව්‍යාපාර සඳහා මුදල් ලබාදීම, නීති විරෝධි අනුග්‍රහ දැක්වීම ආදිය දෙගුණ තෙගුණවීම අනිවාර්ය වේ. 

මෙවැනි පසුබිමක රටේ ඉදිරි අනාගතය වන දරුවන් සිගරට් මෙන්ම වෙනත් මත්ද්‍රව්‍යවලට නැඹුරුවීමේ ප්‍රවණතාවය සීග්‍ර ලෙස වර්ධනය වනු ඇත. (දුම්වැටි යනු නීති විරෝධි මත්ද්‍රව්‍ය වන ගංජා, හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය සඳහා ප්‍රවේශකාරි මත්ද්‍රව්‍යක් ලෙස කි්‍රයා කරයි.) 

6. චීන ජාතිකයින් ඇතුළු විදෙස් ශ්‍රමිකයන්ගේ සුබසාධනය පිළිබඳ රජය අවංකවම සැළකිලිමත් වෙනවා නම් සිදුකළ යුත්තේ ඔවුන්ගේ දුම්වැටි බීම අවම කිරීමට උදව් කිරීමයි. මන්දයත්,  අවාසිදායක සිගරට් බීමේ පුරුද්දෙන් ඉවත්වීමට රජය දුම්වැටි බොන පිරිසට උදව් කළයුතුය. 

දුම්වැටි බීම පුද්ගලයන්ගේ ඵලදායීතාව අඩු කරන ප්‍රධාන හේතුවක් වන බැවින් ශ්‍රමිකයින්ට හිතැති රජයක් විසින් කිසිවිටෙක ඔවුන්ගේ දුම්වැටි බීම වර්ධනය කරවන තීරණ නොගත  යුතුය. 

7. දුම්කොළ ඇසුරුම් මත රූපමය සෞඛ්‍ය අවවාද දැමීමේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ගෙන එනු ලැබු යෝජනාවට විරුද්ධව ලංකා දුම්කොළ සමාගම නමින් පෙනී සිටින බ්‍රිතාන්‍ය ඇමෙරිකානු දුම්කොළ සමාගම අධිකරණ ක්‍රියා මාර්ගවලට පිවිස, රූපමය සෞඛ්‍ය අවවාද ගෙන ඒම අවුරුදු 3 කින් ප්‍රමාද කිරීමට ගත් අතිමහත් උත්සාහය ගැන අපට අත්දැකීම් ඇත.

 එවන් තත්ත්වයක දුම්කොළ පාලනය පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් නොකළ තවත් සමාගමකට ලංකාවට පැමිණීමට ඉඩදීම , දුම්කොළ පාලනය පිළිබඳ ප්‍රතිපත්තියට විරුද්ධ අකාරයෙන් බලපාන බව පැහැදිළිය.


8. වෙළඳපොලේ පවතින දුම්වැටිවලින් 1/3 ක් නීති විරෝධි සිගරට් බව සිදු කරන ලද අධ්‍යනවලින් තහවුරු වී ඇත. මෙම නීති විරෝධි දුම්වැටි ජාවාරම යනු ජාත්‍යන්තර දුම්කොළ සමාගම බදු වංචා කිරිම සඳහා යොදාගනු ලබන කූට උපක්‍රමයක් වේ. 

මෙවන් පසුබිමක තව තවත් නීති විරෝධි දුම්වැටි ජාවාරම් බහුලවීම වැළැක්විය හැකිද?


9. දැනට අප රටේ ක්‍රියාත්මක වන මහා පරිමාණ ව්‍යාපෘති බොහොමයක් ක්‍රියාත්මක කරනුයේ චීන සමාගම් සහ චීන ආධාර මතය. එවැනි තත්වයක් තුළ චීන දුම්වැටි සඳහා අවශ්‍ය ආකාරයට බදු හා නීති පනවමින් ඒවා පාලනය කිරීමට ශ්‍රී ලංකා රජය ගනු ලබන  උත්සාහයන් අඩපණ කිරීමේ හැකියාවක් චීන රජයට පවතී. 


10. අප රටේ මුළු ජනගහනයෙන් ඉතාමත් අඩු මෙන්ම තාවකාලිකව සේවයේ යෙදෙන චීන ජනතාව වෙනුවෙන් චීනයෙන් සිගරට් ගෙන්වීමට අවසර ලබාදීම කොතරම් උචිතද ? චීන ජාතීන් මෙලෙස වෙනත් භාණ්ඩ ඉල්ලූම් කළහොත් එම සමාගම්වලටත් භාණ්ඩ ගෙන්වීමට අවසර ලබා දෙන්නේද? තවද අනෙකුත් රටවලට අයත් ජාතීන් විසින් ද මෙලෙස ඉල්ලීම් කළහොත් ඒ පිළිබඳවත් මුදල් ඇමතිතුමා සැළකිලිමත් ද?

අප රටේ මුදල් අමාත්‍යාංශය විසින් දුර දැකීමකින් තොරව ගනු ලබන මෙවැනි තීරණ මගින් ශ්‍රී ලංකාව සෞඛ්‍ය, සමාජීය සහ ආර්ථීක වශයෙන් පරිහානියට පත්වනවා මෙන්ම විදෙස් ශ්‍රමිකයන්ගේ සෞඛ්‍ය හා ආර්ථීක ගැටළුවලට ද මෙම තීරණ හේතුවේ. 

එබැවින් ජනාධිපතිතුමා, අගමැතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු සියලූ වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ මෙම අවාසි සහගත තීරණය වෙනස් කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන ලෙසට බව මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය කළ නිවේදනයේ අවසන් වශයෙන් සඳහන් වේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 June 2019 17:23