March 31, 2020

"සැබෑ ආණ්ඩු විරෝධී නම් විශ්වාසභංගයට සහය දෙන්න"

සැබෑ ආණ්ඩු විරෝධයක් ඇත්නම්, ඕනෑම පාර්ශවයකට ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාසභංගයට සහාය පල කළ හැකි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ මින්නේරිය ආසන බල මණ්ඩල රැස්වීමට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

"ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගේනකොට ඊට දවස් දෙකකට කලින් මහින්ද වටා ඉන්න කල්ලියක් කලබල වෙලා රිෂාඩ් බදියුදීන්ට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළා. නමුත් අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිව යුත්තේ බදියුදීන් පමණද? නෑ අගමැතිත් වගකියන්න ඕනෙ. ජනාධිපති වගකියන්න ඕනෙ. ඇමති මණ්ඩලය වගකියන්න ඕනෙ. මහින්ද වටා ඉන්න කල්ලිය බැලුවේ ඒ අය බේරලා රිෂාඩ් බදියුදීන්ට විතරක් විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්න. අපි ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනාවහම අපි ගෙනාවේ රිෂාඩ්ව බේරන්න කිවුවා. ඒකට වෙන වෙන තර්ක ගෙනාවා. අපි කියනවා මේ ආණ්ඩුව ගෙදර යන්න ඕනෙ දැන්. රිෂාඩ්ට එරෙහි විශ්වාසභංගය නිසා මුස්ලිම් ඇමතිවරු ඔක්කොම ඉල්ලා අස්වුණා.

"දැන් ඉතුරු වෙලා තියෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ගෙනාපු ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය. රිෂාඩ් ඉල්ලා අස් වුණාම ආණ්ඩුව සම්පුර්ණයෙන් නිදොස් වුණා. දැන් තියෙනවා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය. ඇත්තටම ආණ්ඩුවට විරුද්ධයි කියලා කවුරුහරි හිතනවානම් දැන් කරන්න තියෙන්නේ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයට ඡන්දෙ දීලා ආණ්ඩුව පරද්දන එක. ආණ්ඩුවට විරුද්ධනම් අවස්ථාව තියෙනවා ආණ්ඩුව පෙරලන්න. බොරු කයිවාරු වැඩක් නෑ" ඒ මහතා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)