August 22, 2019

විමල්ගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් - අගමැතිට හා මහ බැංකු අධිපතිට බරපතල චෝදනාවක් (VIDEO)

ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරය ලයිකා මොබයිල් හිමිකරු සුබාස්කරන් අලිරාජා හා ඔහුගේ බිරිඳට අයිති වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයාද මෙයට වගකිව යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඊයේ(10) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අයිතිකරු සුබාස්කරන් අලිරාජා හා ඔහුගේ බිරිඳට මේ වන විට ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරය මුළුමනින්ම අයිති වී ඇති බවත් එම සමූහ ව්‍යාපාරය මිලදී ගත්තේ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් සමාගම විසින් බව ඒ මහතා පෙන්වා දෙයි.

මේ අතර මහ බැංකුව මෙම ගනුදෙනුව සිදු වූ 2018 ජනවාරි 12 වැනිදා පැවසුවත් 2018 ජුලි 24 වැනිදා වන විට එම සමාගමේ කොටස් 100%ක්ම සුබාස්කරන් අලිරාජා සහ ඔහුගේ බිරිඳට අයත් පෙටීහෝ සමාගම මිලදී ගෙන ඇති බවත් මේ රටත් ජනතාවත් රැවටූ ගනුදෙනුවට අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය පමණක් නොව මහ බැංකු අධිපතිවරයා ද සම්පූර්ණයෙන්ම වගකිය යුතු බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පෙන්වා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය.

“ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය වූ සෝමා එදිරිසිංහ මැතිනිය මියයාමට පෙර ගොඩනඟා තිබූ ආයතනවලින් බංකොලොක් වූ මූල්‍ය ආයතනය හැර සියලු ආයතන සුබාස්කරන් අලිරාජා හෙවත් කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අධිපතිවරයා හිමිකාරීත්වය දරන වෙනත් සමාගමකට අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ හා මහ බැංකු අධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය සහිතව ඉතාමත් අඩු ලංසුවකට විකුණා දමනු ලැබුවා. මේ ගනුදෙනුවට අදාළ දේපළවල වටිනාකම පළමුවරට තක්සේරු කෙරෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 55කටයි. එහිදී දේශීය ව්‍යාපාරිකයකු ඊට වැඩි ලංසුවකට එම දේපළ ඉල්ලා සිටිනවා. ඒ නිසා එයට තවත් ආයතන කිහිපයක් එකතු කර සමස්ත දේපළවල වටිනාකම ඩොලර් මිලියන 60 දක්වා ඉහළ දැම්මා. එහිදීත් දේශීය ව්‍යාපාරිකයා එම දේපළ එනම් ඒ ආයතන ඩොලර් මිලියන 61කට ඉල්ලා සිටියා. එවිට බංකොළොත් වූ මූල්‍ය සමාගම හැර සියලු ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයේ වත්කම් ඩොලර් මිලියන 75කට තක්සේරු කරන මහ බැංකුව, යළි ලංසු කැඳවනවා.

"එවිට දේශීය සමාගමට තරඟ කිරීමේ හැකියාව නැති වෙනවා. නමුත් මේ කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අධිපති සුබාස්කරන් අලිරාජාට අයත් සමාගමට මේ දේපළ සියල්ල පවරා දෙන්නේ කොටස් වශයෙන් ගෙවීමේ පදනම යටතේයි. මේ ගනුදෙනුව පිටුපස අග්‍රාමාත්‍යවරයාත් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිවරියගේ උපදේශකයකු වූ මනෝ තිත්තවැල්ල යන අයත් ඍජුව ඉඳ තිබෙනවා. මහ බැංකුවත් දැනුවත්ව කොටි ඩයස්පෝරාව සතුටු කිරීම වෙනුවෙන් තමයි මේ අයථා ගනුදෙනුව සිදු කර ඇත්තේ. අපි මහ බැංකු අධිපතිවරයාට අනතුරු අඟවනවා ‘මහ බැංකු බැඳුම්කර වංචාව සිදු වී 2019 පෙබරවාරි 27 වැනිදාට වසර 04යි. හිටපු අධිපතිවරයා සේම එවැනිම අක්‍රමිකතාවකට මුල් වූ ඔබ ද ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිය ඉදිරියට යෑමට සූදානම්ව සිටින්න”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය. 

Rate this item
(0 votes)
Last modified on Monday, 11 February 2019 09:22