March 28, 2024

වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඇතුළු වෛද්‍යවරුන් ප්‍රචන්ඩකාරී ලෙස හැසිරිලා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තවත් වෛද්‍යවරයෙකු සමග ඇතිකරගත් බහින්බස්වීමක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමකින් පසු පාදෙණිය මහතා වෛද්‍යවරයෙකුගේ ප්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තාවේ.

වෛද්‍ය පාදෙණිය මහතා වෛද්‍යවරුන්ගේ නිලනිවාස පරිශ්‍රයේ පිහිටා ඇති ආපනශාලාවේදී තවත් වෛද්‍යවරයෙකු සමග යම් වාදයක පැටලී තිබේ. 

වෛද්‍ය පාදෙණිය මහතාගේ පැහැදිළිකිරීමට එකඟතාවය පළ කර නොමැති අනෙක් වෛද්‍යවරයාද ඔහුගේ මතය ඉදිරිපත්කර තිබේ. කෙසේ නමුත් එහිදී ඉතා වියරුවෙන් හැසිරී ඇති වෛද්‍ය පාදෙණිය අනෙක් වෛද්‍යවරයාට පහරදී තිබේ. පසුව තවත් වෛද්‍යවරයෙකුද පැමිණ පාදෙණිය සහ ඔහුගේ සහායට සිටි අනෙක් වෛද්‍යවරයාටද පහරදී තිබේ.

ඔවුන්ගේ ගැටුම ස්ථාන කිහිපයකදීම විටින් විට ඇතිවී තිබෙන අතර මේ හේතුවෙන් වෛද්‍යවරුන්ගේ පහසුව සඳහා නේවාසිකාගාරය පරිශ්‍රයේ පිහිටුවා ඇති ලංකා බැංකුවේ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රයටද හානි සිදුව ඇත.

පාදෙණිය සහ ‍අනෙක් වෛද්‍යවරයා අතර මෙහි සඳහන් කළ නොහැකි ආකාරයේ පරුෂ වචනද භාවිතා කරමින් බැනගැනීමක්ද දිගින් දිගටම සිදුව තිබේ. පසුව රෝහල ආසන්නයේද එසේම ඔවුන් ගැටී ඇති අතර රෝහලට පැමිණෙන රෝගීන්ද මෙම ගැටුම දෙස පුදුමයෙන් බලා සිට තිබේ.

වෛද්‍යවරුන් මෙලෙස හැසිරීම වෛද්‍යවරයාගේ ගරුත්වය කෙලසීමක් යැයි බොහෝ වෛද්‍යවරුන් පවසන අතර විශේෂයෙන් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ එම හැසිරීමට මේ වනවිටත් වෛද්‍යවරුන් අතර දැඩි අප්‍රසාදයක් ගොඩනැගී ඇති බවත් ඔවූහු පවසති.

මෙම වාතාවරණයත් සමග කොළඹ ජාතික රෝහල් පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව යොදා තිබිණි.

Rate this item
(0 votes)