December 12, 2018

මහින්ද ගැනවත් රනිල් ගැනවත් කිසිම විශ්වාසයක් නැහැ

ප්ලොට් සංවිධානය අතීතයේ සිට ලබා ඇති දේශපාලන අත්දැකීම්වලට අනුව මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහිවත් රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහිවත් කිසිදු විශ්වසයක් නො තබන බව ප්ලොට් සංවිධානයේ නායක හා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා යළිත් වරක් අවධාරණය කොට සිටියි.

යාපනයේදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු මීට පෙරද මෙවැනිම අදහසක් ප්‍රකාශ කොට  තිබූ අතර ඔහු වැඩි දුරටත් කියා සිටින්නේ ප්ලොට් සංවිධානයට අතීත අත්දැකීම් අනුව නොමැත්තේ ජනාධිපතිවරයෙකු වශයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කළ කටයුතු  හෝ ගණුදෙණු කිරීම් පමණක් බවද කියා සිටියි.

යාපනයේ මාධ්‍යවේදීන්ට 4 දා අදහස් දක්වමින් කතා කළ සිද්ධාර්ථන් මහතා මහින්ද රාජපක්ෂ මහතාත් රනිල් වික්‍රමසිංහ මහතාත් ඔවුන්ගේ බලය සදහා අනෙක් සියළු දෙනාම රවටන බව ප්ලොට් සංවිධානය විසින්  තේරුම් ගෙන ඇත්තේ මීට වසර හතළිහකට ඉහත සිට බව ද කියා සිටියේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ දිනවල කටයුතු කරණ ආකාරය දෙස බලන විට ඔහුගෙන්ද ඊට වඩා වෙනසක් දැකිය නොහැකි බව ප්ලොට් නායකයා පවසයි.

උතුරේ පවත්නා දේශපාලන රාමුවට අනුව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් හැටියට ප්ලොට් සංවිධානය කටයුතු කරණ බැවින් එම  මව් පක්ෂය ගන්නා තීන්දු තීරණ වලට එකග වීමට සිදුවනවා මිස ඒ තීරණ ප්ලොට් සංවිධානයේ තීන්දු තීරණ නොවන බවද සිද්ධාර්ථන් මහතා කියා සිටියි.

ප්ලොට් සංවිධානය නියෝජනය කරණ තමන් මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීම පිණිස යන බවට මුළු උතුරු ප්‍රදේශය පුරාම විශාල රාවයක් පැතිර ගියත් තමන් හෝ ප්ලොට් සංවිධානය දකුණේ සිංහල බෞද්ධ දේශපාලනඥයින් සමග කිසිදු සම්මුතියකට එළඹීමක් නොකරණ බවද ඔහු මෙහිදී කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්විය යුතු බවට  එහි නායකයින් තීරණය කළේ ප්‍රජාතන්ත්‍රවාදී හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බොහෝ දේ සිදුවූ නිසා බව පවසන ප්ලොට් නායකයා තම සංවිධානය ගරු කරන්නේ දෙමළ ජාතික සන්ධානයට මිස මහින්ද රාජපක්ෂ මහතාටවත් රනිල් වික්‍රමසිංහ මහතාටවත් නොවන බවද කියා සිටියි.

දැනට පාර්ලිමේන්තුව තුළ උද්ගතව ඇති දේශපාලන ව්‍යාකූලතාවය ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පහරක් බව පවසන සිද්ධාර්ථන් මහතා බහුතරයක් සිටින පිරිසකට අගමැති ධූරය ලබා නොදීම නිසා මේ ගැටළුව දිනෙන් දින ඉහළ යන බවද සදහන් කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ රටේ දෙමළ ඡන්ද වලින් බලයට පත් වූ අයෙකු බව මුළු ලෝකයම දන්නා සත්‍යයක් වුවත් ඔහු දෙමළ ජනතාව  වෙනුවෙන් ලබාදුන් කිසිවක් නොමැති බව පෙන්වා දෙන ප්ලොට් නායකයා එදා සරත් ෆොන්සේකා මහතාටද දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කළේ දෙමළ ජනතාවටඔහුගෙන් කිසිවක් නොලැබෙන බව ඉතා හොදින්ම දැනගෙන බවද අවධාරණය කළේය.

නමුත් දෙමළ ජනතාව හා දෙමළ දේශපාලනඥයින් රවටවමින් රටේ බලය ලබා ගන්නා පිරිසට දෙමළ ජනතාව හා දේශපාලනඥයින් කත් ඇදීම මිස ඉන් එහා යමක් කිරීමට ඔවුන්ට ආව්ස්ථාව නොලැබෙන බවද ධර්මලිංගම් සිද්ධාර්ථන් මන්ත්‍රීවරයා මේ සාකච්ඡාවේදී කියා සිටියේය.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)