December 12, 2018

"සජිත්ව ගේන්න ඕනේ වෙලාවට පක්ෂය ගේයි" - බන්දුලාල්

අගමැති ධූරය රනිල් වික්‍රමසිංහ මහතාට නොදෙන බව පවසන්නේ එක්සත් ජාතික පක්ෂය දෙකට තුනට කැඩීමේ අදහසින් මිස පක්ෂයට හෝ සජිත් ප්‍රේමදාස මහතාට ඇති ආදරයකට නොවන බවද පක්ෂයේ ප්‍රතිසංවිධානයක් ඉල්ලූ මිනිසුන් සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියට ගෙන ආයුතු අවස්තාවේ ඉදිරියට ගෙන එනු ඇතැයිද ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පැවසුවේ ඊයේ (04) බද්දේගම උන්නවිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"දැන් මේ වෙකොට අභියාචනාධිකරණයෙන් දීපු තීන්දුවත් එක්ක මේ රටේ දේශපාලනය උඩු යටිකුරු වෙලා තියෙන්නේ. දැන් මේ ලංකා භූමියේ මහ පොලොව මත අගමැතිවරයෙකුත් නෑ ඇමති මණ්ඩලයකුත් නෑ. ඉන්නේ මහජන ඡන්දයෙන් පත් වෙච්ච මේ ආන්ඩුව පාලනය කරන ජනාධිපති විතරයි. ඉතින් මේක රට අරාජික තත්වයට පත් කිරීමක්. මේ රට අස්තාවර කරන්න පාර කැපුවේ කතානායක වරයයි කියලා ඉතාම පුහු සහ පටු අවලාදයක් නගමින් ඉන්නවා ඩලස් අලහප්පෙරුම මහත්තයා. එතුමට මම කියන්න කැමතියි එක දේශපාලන කෝනෙක එල්ලිලා පටු තැනක ඉන්නේ නැතිව අලහප්පෙරුම මහත්තයෝ වැඩේ අලකරගෙන තියෙන්නේ ඔබතුමන්ලාගේ උපදෙස් පිට කටයුතු කරපු ජනාධිපතිවරයාද වෙන කවුරුවත්ද කියලා ගිහිල්ලා හොඳට සිහි නුවණින් කල්පනා කරන්න කියලා මම එතුමට කියනවා.ඔය වැඩේ අල කරගෙන තියෙන්නේ අපි පත් කරපු ඔබ තුමන්ලා නොමග යවපු මෛත්‍රිපාල මහත්තයයි වගේම බල කෑදර කමින් කටයුතු කරන ඔබ තුමාලගේ ඔය හොර අගමැති වරයයි තමයි මේ රට මේ තත්වයට පත්කර තියෙන්නේ."


"ඒ වගේම කියන්න කැමකියි. අපිත් මේ පක්ෂයේ යම් ප්‍රතිසංවිධානයක් ඉල්ලාපු මිනිස්සු. මේ පක්ෂයට අලුත් ජවයක් ඕන කියපු මිනිස්සු. හැබැයි මෛත්‍රිපාල මහත්තය මේ අවස්තාවේ අපේ පැත්තට මේ බෝලයක් දාලා රනිල් වික්‍රමසිංහ මහත්තයාට නම් දෙන්නේ නෑ. දෙසීය විසිපහම කීවත් දෙන්නේ නෑ. මේකට වෙන කෙනෙක් ගේන්න වෙන කෙනෙකුටයි දෙන්නේ කියන්නේ එක්සත් ජාතික පක්ෂයට ආදරේ නිසා නෙමේ සජිත් ප්‍රේමදාස මහත්මයාට ආදරේ නිසා නෙමේ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉස්සරහට ගෙන්න අවශ්‍ය වෙලාවට අපි ඉස්සරහට ගෙන්නම්. ඒකේ න්‍යාය පත්‍රය හදන්න ඕනේ ජනාධපති තුමා නොවෙයි. ඒ න්‍යාය පත්‍රෙය් දිනය වෙලාව අවස්තාව තීරණය කල යුත්තේ එක්සත් ජාතික පක්ෂයයි.එක්සත් ජාතික පක්ෂයේ අපි තීරණය කරන්නම් සජිත් ගෙන්න ඕන කොයි වෙලාවටද වෙන නායකයෝ ඉන්නවා නම් ඒගොල්ලන් ගේන්න ඕන කොයි වෙලාවටද කියලා.මේ බෝල දාන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නයි. අපේ පක්ෂය දෙකට තුනට කඩන්නයි.රනිල්ට නම් අගමැතිකම දෙන්නේ නෑ කියන්නේ එක්සත් ජාතික පක්ෂය භේධ කරන්නයි."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

(ලලිත් චාමින්ද)

Rate this item
(2 votes)