March 29, 2024

මහ බැංකුවෙන් නව කාසි කිහිපයක්

November 28, 2018

සංසරණය සඳහා නව කාසි කාණ්ඩයක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (27) සඳහන් කළේය.

මේ අනුව කාසි ටංකන පිරිවැය අඩු කිරීම, කල් පැවැත්ම, පහසුවෙන් රැගෙන යා හැකි බව හා දෘශ්‍යාබාධිත පුද්ගලයන්ට කාසි වර්ග වෙන්කර හඳුනාගැනීම පහසු කරවීම යන පරමාර්ථ ඇතිව මුහුණත වටිනාකම රුපියල්, 10, 5 , 2 සහ 1 යන කාසි වර්ග හතරින් යුත් නව කාසි කාණ්ඩායක් නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙහි පළමු කාසි ඇසුරුම ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබිණි.

ලෝහාලෝපිත කාසිවලට වඩා වැඩි කල් පැවැත්මක් ඇති මළ නොබැඳෙන වානේවලින් මෙම නව කාසි නිෂ්පාදනය කර තිබේ.

කාසිවල විෂ්කම්භය හා ඝනකම ද කාසියේ වටිනාකම සමග වැඩි වන අනුපිළිවෙළට වෙනස් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 28 November 2018 05:49