April 20, 2024

මහින්ද “අගමැති කොටේ” ගත් හේතුව ගැන අනුර කියයි

November 23, 2018

ජනාධිපතිවරයා නව අගමැති වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා පත්කොට සදාගත් ආණ්ඩුවෙහි අගමැතිධුරය මහින්ද රාජපක්ෂ මහතා විසින් භාරගැනීමට හේතුව වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත සිහසුනේ හිඳගැනීමේ වුවමනාව සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නඩු වසා ගැනීමේ වුවමනාව බව අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අද (23) දින පාර්ලිමේන්තුවේදී හෙතෙම මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“ගමේ ඉන්න ළමයකුටවත් ලේන්නු අඹ කාලා ඉතුරු වෙච්ච කොටේ දෙන්නේ නෑ. එහෙම තියෙද්දි මේ ගත්තේ අගමැති කොටේ. අගමැති කොටේ ගන්න ඇයි පෙළඹුණේ? පාර්ලිමේන්තුවට ප්‍රධාන කාර්ය දෙකක් තිබෙනවා. එකක් නීති හදන එක. අනිත් එක මූල්‍ය පරිපාලනය. මේ කාර්යයන් දෙකම මහින්ද රාජපක්ෂ කණ්ඩායමට කරගන්න බෑ.

ආණ්ඩුවට බහුතරයක් නෑ. අබ්බගාත ආණ්ඩුවක් බාර ගත්තේ ඇයි? මේ පාර්ලිමේන්තුව ඔවුන්ට තවත් මර්දනකාරී දේශපාලනයේ එක මධ්‍යස්ථානයක් විතරයි. මුදල් පරිපාලනයක්, නීති සම්පාදනයක් ඔවුන්ට පාර්ලිමේන්තුවේ කර ගන්න බෑ.

එහෙම තියෙද්දි ආන්ඩුවක් හදාගත්තේ ඇයි?

අධිකරණවල නඩු ක්‍රියාත්මක වෙනවා. ගෝඨාභය රාජපක්ෂට නඩුවක් තිබෙනවා. ගෝඨාභයට එරෙහිව ඇවන්ගාඩ් නඩුව තිබෙනවා. මහජන මුදලින් මැදමුලනේ සොහොනක් හැදීම ගැන නඩුවක් තිබෙනවා. ගාමිණී සෙනරත්ලා ගෙවල්වල හංගං හිටපු විදිය අපි පස්සේ කියන්නම්. ගෝඨාභයට එරෙහි ඊළඟ නඩුවට දින නියම කරලා තියෙනවා

බැසිල්ට නඩු දෙකයි. විමල් වීරවංශට හා බිරියට නඩු දෙකයි. රෝහිතට, මහින්දානන්දට නඩුවක්. පෙබරවාරි මාසයට කලින් මේ නඩු ඔක්කොම තිබෙනවා. මේ ආණ්ඩුව හැදුවේ අධිකරණයේ තිබෙන නඩු නිසා.  මේ සතියේ විමල් වීරවංශයට තිබ්බ නඩුව ලබන වසරේ මැයි වලට කල් ගියා. මහින්ද රාජපක්ෂ මහතා දැනගෙන හෝ නොදැනගෙන පය තිබ්බේ නඩුවල චූදිතයන් බේරා ගන්නයි. 

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගන්නේ නෑ කියලා කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තිබ්බා. ඇයට එෆ්සීඅයිඩියෙන් කටඋත්තර ගන්න එන්න කිව්වාම හිටපු කතානායකගේ නිල නිවසට ගෙන්වාගෙන කටඋත්තර ගත්තේ. 

තිබුණු ජාතික ආණ්ඩුවට ජාතික න්‍යාය පත්‍රයක් තිබුණේ නෑ. බලපොරයක නිරත වුණා. මේ නොපැහෙන විවාහය සිද්ධ වෙන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ නැවත සිහසුනේ හිඳගැනීමේ වුවමනාව හා මහින්ද මහත්තයාගේ නඩු වසා ගැනීමේ උවමනාව.

ජනාධිපතිවරයාම කිව්වා ජනවාරි අට වැනි දා පොල්වත්තක හැංගිලා හිටියේ කියලා. කාට බයේද? බස්සන්ට බයේද? ඒ මහින්ද රාජපක්ෂ මහත්තයාට බයේ. මහින්ද බලයට පත් වුණොත් අඩි හයක් පොළොවේ යටට යනවා කිව්වා. එහෙම කිව්ව මේ දෙන්නා එකතු වීමේ සූත්‍රය කුමක්ද?” යැයි පැවසීය.

 

Rate this item
(0 votes)