April 20, 2024

විමල්ගේ යෝජනාවට එජාපය එකඟ වෙයි

November 19, 2018

රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන කණ්ඩායමට 113කට වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින බවත් ඒ බව දිවුරුම් ප්‍රකාශක් මඟින් අද (19) ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසයි.

අවශ්‍ය නම් 113 දෙනකුට අධික මන්ත්‍රීවරුන් ද ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවිය හැකි බව මන්ත්‍රීවරයා කීවේය.

අජිත් පී පෙරේරා මහතා මේ බව පැවසුවේ ඊයේ (18) රාත්‍රී කොළඹ අරලිගයහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

‘‘අද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කළා. පසුගිය 14 වැනි දා සහ 16 වැනි දා විශ්වාසභංගය සාර්ථකව ස්ථිර වුණා. ඒ බව අපි ජනාධිපතිට දැනුම් දුන්නා. කතානායකවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරන්න ස්ථාවර නියෝග 76.1 අනුව විධායකයට හෝ අධිකරණයට බෑ. ඒ ගැන සලකාබැලීමක් කරනවා නම් පාර්ලිමේන්තුවේදීම මන්ත්‍රීවරුන් යෝජනාවක් සම්මත කර ගත යුතුයි. නමුත් එසේ කරන්න ඔවුන්ට මන්ත්‍රීවරුන් නෑ. අපි මේ බව ජනාධිපතිට දැනුම් දුන්නා.

එතනදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා යෝජනාවක් කළා හැකි නම් අපිට 113 දිවුරුම් ප්‍රකාශ මගින් පෙන්වන්න කියලා. අපි කිව්වා හෙට උදේ 10 වෙද්දි මන්ත්‍රීවරුන් 113කට වැඩි ප්‍රමාණයක් සමග දිවුරුම් ප්‍රකාශ රැගෙන එන්න අපි ලෑස්තියි කියලා. නමුත් ජනාධිපතිවරයා ඊට ඔළුව වැනුවේ නෑ. අපි ලෑස්තියි උදේම ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න. ජනාධිපතිවරයාගෙන් ඊට අවස්ථාවක් ලැබෙයි කියා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. විධායකයට බෑ අධිකරණයට හෝ ව්‍යවස්ථාදායකයට ඇඟිලි ගහන්න. ‘‘ යැයි ද අජිත් පී පෙරේරා මහතා කීවේය.

Rate this item
(3 votes)