April 18, 2024

දකුණේ දේශපාලනය අපේ ප්‍රශ්න විසඳන්නේ නෑ - දෙමළ පක්‍ෂ සියල්ල එක්‌විය යුතුයි

November 13, 2018

මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමට පෙර සියලු දෙමළ දේශපාලන පක්‍ෂ එකට එකතු කර ගැනීමට උත්සහ කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.

යාපනයේ දෙමළ මාධ්‍ය විසින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව සම්බන්ධන් මහතාගෙන් කරුණු විමසූ අවස්‌ථාවේ ඔහු ඒසේ පැවැසීය. තවදුරටත් අදහස්‌ දැක්‌වූ සම්බන්ධන් මහතා මෙසේද කියා සිටියේය.

"දකුණේ රජයන් මේ රට තුළ සිටින දෙමළ වැසියන්ගේ ප්‍රශ්න විසඳීමට වඩා ඔවුන් බලයට පත්ව ඒ බලය පවත්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව දැඩි විමසිල්ලකින් සිටින බව පසුගිය ඔක්‌තෝබර් 26 වැනිදා සිට මේ දක්‌වා ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා.
දකුණේ පවතින මෙවැනි බල ලෝභී දේශපාලනයක්‌ තුළ රටේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳන බවක්‌ පෙනෙන්නට නැහැ. ඔවුන් හිතුමතේට බලය සොයාගෙන යන ගමනක නිරතව සිටිනවා. මේ දේශපාලනඥයන් උදේ ප්‍රකාශ කළ දේ දහවලට වෙනස්‌ කරනවා. මේ අය කියන කරන දේවල් විශ්වාස කළ නොහැකියි.

දේශපාලන ගමනක්‌ යැමට දැඩි විශ්වාසයක්‌ තිබිය යුතුයි. මේ විශ්වාසය දකුණේ දේශපාලනඥයන්ගෙන් ප්‍රකාශ නොවන විට දෙමළ දේශපාලනඥයන් ඉතාම තරයේ කල්පනා කළ යුතු කාරණයක්‌ තිබෙනවා. දකුණේ දේශපාලනඥයන් අතර සමගියක්‌ විශ්වාසයක්‌ පැහැදිලි ඉදිරි ගමනක්‌ නොමැති නිසා ඔවුන් කුලල් කා ගනිමින් ඉතාම අසීරු ගමනක්‌ යමින් සිටිනවා. මේ තත්ත්වය උදාහරණයට ගනිමින් දෙමළ දේශපාලනඥයන් කළ යුතුව ඇත්තේ සියලු ප්‍රශ්න මතභේද අවසන් කොට සියලු දෙමළ දේශපාලනඥයන් එක්‌ව කටයුතු කිරීමයි.

පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැමිණ තිබෙනවා. මේ තත්ත්වය සියලුම දෙමළ දේශපාලනඥයන්ටත් දෙමළ ජනතාවටත් ඉතාම බුද්ධිමත්ව කටයුතු කිරීමට හොඳ අවස්‌ථාවක්‌ වී තිබෙනවා. පසුගිය කාලයේ දකුණේ දේශපාලනයේ පැවැති අස්‌ථාවර භාවය ඉදිරියේදී පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්වීමෙන් තුරන් වන බවක්‌ පෙනෙන්නට නැහැ.

එක්‌ දේශපාලන පක්‍ෂයකට විශාල බලයක්‌ ලබාගෙන ඉතා ශක්‌තිමත් හා තනි රජයක්‌ පිහිටුවීමට මෙවරත් හැකියාවක්‌ ලැබෙන්නේ නැහැ. මේ නිසා රජයක්‌ කරගෙන යැමට මීළඟ අවස්‌ථාවේදීත් සුළු ජන පක්‍ෂවල සහය අනිවාර්යයෙන්ම ලබා ගැනීමට සිදුවනවා. මේ තත්ත්වය සියලුම දෙමළ දේශපාලන පක්‍ෂ තේරුම් ගත යුතුයි.

මේ අවස්‌ථාවේදී උතුරෙන් සිදුවිය යුත්තේ නව දේශපාලන පක්‍ෂ පිහිටුවමින් දෙමළ දේශපාලනඥයන් සහ දෙමළ ජනතාව භේද බින්න කිරීම නොවෙයි. උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කර ගැනීමට හැකි නව දේශපාන විසඳුමක්‌ මේ ප්‍රශ්නයට ලබා ගැනීමයි. මේ උත්සාහයේදී දෙමළ ජනතාව ලබාදෙන බලය එක්‌තැනකට ලබාගෙන ඒ බලය ඔස්‌සේ රජයෙන් දෙමළ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබා ගැනීමට සෑම දෙමළ දේශපාලනඥයකුම කටයුතු කළ යුතුයි.

දැනට ක්‍රියාත්මක දෙමළ දේශපාලන පක්‍ෂ සියල්ල එකට එකතු කිරීමේ උත්සාහයක්‌ මෙවර නාම යෝජනා ලබාදීමට පෙර සිදු විය යුතුයි. මේ පණිවුඩය සියලුම දෙමළ දේශපාලන පක්‍ෂ අතරට මේ වන විට යෑවීමට දෙමළ ජාතික සන්ධානය පියවර ගෙන තිබෙනවා.

Rate this item
(0 votes)