November 17, 2018

‘කතානායක පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙනවා‘ - ඇමති නිමල්

නව අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු රජය පිළිගන්නා බව මුලදී ප‍්‍රකාශ කළ කතානායකවරයා දැන් කාගේ හෝ බලපෑමකට යටත් වී 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම අවුල් කිරීමට සැරසෙන්නේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඇමතිවරයා මේ බව පැවසුවේ කොළඹ, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

කතානායකවරයා මේ වන විට එක්සත් ජාතික පක්‍ෂයේ දේශපාලන ක‍්‍රියාවක නිරත වෙමින් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග, නීතිරීති හා සම්ප‍්‍රදායන්වලට පයින් ගසා දඩබ්බර ක‍්‍රියාවක යෙදීමට උත්සාහ කරන බව පෙනෙන්නේ යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කාටද විමසා ඡන්ද පැවැත්වීමේ හැකියාවක් නොමැති බව කී ඇමැතිවරයා විශ්වාසභංගයක් මගින් හෝ රජය ඉදිරිපත් කරන අතුරු සම්මත ගිණුම පැරදවීමෙන් බහුතරය පෙන්වීමේ හැකියාව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ශවයට තිබෙන බව ද කීවේය.

 

 

Rate this item
(0 votes)