November 17, 2018

"මම එජාපයට යන්නේ නෑ" - ලසන්ත අලගියවන්නගෙන් නිවේදනයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ මූලිකත්වයෙන් වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට දිවිහිමියෙන් කැපවන බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කරයි.

වත්මන් ආණ්ඩුවෙන් ඉවත්ව යන බවට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාලා වෙබ් අඩවි මඟින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීමට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කරයි.

ඒ මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙන අතර එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

මාගේ පවුලේ අතිශයින් වැදගත් කටයුත්තක් වෙනුවෙන් විදේශගතවී සිටින මෙවන් අවස්ථාවකදී මා සම්බන්ධව, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සමාජ ජාලා වෙබ් අඩවි මඟින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම පිළිකුල් සහගතව හෙළා දකිමි.

මාගේ දේශපාලන ජිවිතය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පක්ෂ සාමාජිකත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් කැප කර ඇති අතර වර්තමානයේත් අනාගතයේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකයා සමඟ රටේ පොදු යහපත වෙනුවෙන් කටයුතු කිරීමට අදිටන් කරගෙන සිටිමි.

විශේෂයෙන් වර්තමානයේ රාජ්‍ය නායකයා ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් රටේ ඉදිරි සුබසිද්ධිය උදෙසා අවංකව උපරිම කැපවීමකින් මා ආදරණීය ගම්පහ සියනෑ කෝරලයේ ජනතාව සමඟ කටයුතු කරමි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මාගේ සහෝදර මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය ගෙන යන මෙවැනි වැරදි සහගත අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි.

අතිගරු ජනාධිපතිතුමා හා ගරු අගමැතිතුමා එක්ව ගෙන යන වැඩපිළිවෙළට සියලු වාද භේද අතහැර අත්වැල් බැඳගෙන සහයෝගයෙන් කටයුතු කිරීමට සියලු දෙනාටම ආරාධනා කරමි.

Rate this item
(0 votes)