April 19, 2024

විදේශ ආධාර නතර වෙන කථාව අසත්‍යක්

November 07, 2018

තනි තනි පුද්ගලයන්ට හෝ දේශපාලන පක්ෂවලට හෝ විදේශීය රටවල් මූල්‍යාධාර ලබාදෙන්නේ නැතැයි ද, ඒ නිසා පුද්ගල මාරුවීම් මත ඇතැම් රටවල් මූල්‍යාධාර ලබාදීම නතර කරන බවට ඇතැමුන් කරන කතා සත්‍යයෙන් තොර යැයි විදේශ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා අවධාරණය කරයි.

අප රටට පැමිණෙන ඍජු විදේශීය ආයෝජන හා මූල්‍යාධාර නතර කරන බවට ඇතැම් රටවල් සඳහන් කර ඇතැයි විපක්ෂයේ ඇතැමකු ගෙන යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙමින් විදේශ අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත විවිධ රටවලින් විවිධ ආයතනවලින් විදේශාධාර, මූල්‍ය ප්‍රදාන ලබාගන්නවා. මෙයට අමතරව අපි රටක් ලෙස විදේශීය මූල්‍ය ආයතනවලින් මූල්‍යාධාර ලබාගන්නවා. ඒවා අපි නියමිත දිනට, නියමිත වේලාවට වාරික හා පොලී මුදල් ලෙස ආපසු ගෙවනවා. එය සෑම ආණ්ඩුවක්ම ඉටුකරන කටයුත්තක්.

අප ලබාගන්නා මුදල් නියමිත පරිදි ආපසු ගෙවන රටක්. අපගේ කටයුතු ගැන ජාත්‍යන්තරයේ විශ්වාසය පවා දිනාගෙන තිබෙනවා.
ඒ නිසා රාජ්‍ය පාලනයේ පුද්ගලයින් මාරුවූ විට මූල්‍යාධාර ලබාදීම නතර කරන බවට ඇතැම් රටවල් ප්‍රකාශ කර ඇතැයි විපක්ෂයේ අය කියන කතා ප්‍රතික්ෂේප කරනවා" යැයිද පැවසීය.

Rate this item
(0 votes)