December 13, 2018

කිරිපැකට් චෝදනාවට මිලියන 500ක් ඉල්ලා මුජුබර්ගෙන් එන්තරවාසියක්

ඒකාබද්ධ විපක්ෂය සැප්තැම්බර් 05 වනදා කොළඹදි සංවිධානය කර තිබූ විරෝධතා රැළියට තමන් විෂ සහිත කිරි පැකට් බෙදා දුන් බවට චෝදනා කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන විමල් වීරවංශ,  ෂෙහාන් සේමසිංහ,  කාංචන විජේසේකර යන මහත්වරුන්ට එරෙහිව රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා එන්තර් වාසි යවන බව  කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජුබර් රහුමාන් මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සදහා තම නීතීඥවරුන්ට උපදෙස් ලබා දි ඇති බවද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදි ඊයේ (10)  පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුජුබර් රහුමාන් මහතා මෙසේද කීවේය.

‘‘මේ අය මට කරපු චරිත ගාතනයට එරෙහිව මම නීතිමය පියවර ගන්නවා. මේ සම්බන්ධයෙන් මම මේ වනවිටත් පොලීසියට පැමිණිලි දෙකක් දාලා තියෙනවා. එම පැමිණිලි සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ සිදුකරන ලෙසට මම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මේ ඒකාබද්ධ විපක්ෂයේ අය අද අපිට මේ වගේ අභූත චෝදනා නගනවා. මේ විදියට මිනිස්සුන්ට මඩ ගහන්න දෙන්න බැහැ. දැන් මේ ගැන රස පරීක්ෂණ වාර්තාවත් නිකුත් වෙලා තියෙනවා.  මේ අය බලන්නේ කෙහොම හරි ජාතිවාදි  ප‍්‍රශ්න  ඇති කරලා දේශපාලන වාසි ලබාගන්නයි. අද ජනතාව මෝඩයට අන්දන්න මේ අයට බැරි වෙලා තියෙනවා. මේ වගේ  ජාතිවාදය අවුස්සන වෛරි ප‍්‍රකාශ සදහා ඉඩනොදෙන ලෙසට අපි මාධ්‍ය ආයතන මගිනුත් ඉල්ලා සිටිනවා’’ 

Rate this item
(0 votes)