December 13, 2018

තෙබුවන පොලිස් සැරයන්වරයාට ඇප

කළුතර, තෙබුවන නගරයේදී ගිනි අවියක් අතැතිව නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පොලිස් සැරයන්වරයාට අද (09) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.

සිය බාරයට ගත් වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් තෙබුවන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් තෙබුවන පොලීසියට අනුයුක්තව සේවය කළ අදාළ පොලිස් සැරයන්වරයා පසුගියදා (03) පස්වරුවේ තෙබුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණේය.

තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබාගන්නා බවට ප්‍රකාශ කරමින් එලෙස නොසන්සුකාරී ලෙස හැසිරුණු ඔහු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් පැය දෙකක පමණ උත්සාහයකින් අනතුරුව මෙල්ල කරගනු ලැබුවේය.

ඒ අනුව අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා පසුගිය (04) දිනයේ මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා විසින් ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණේය.

Rate this item
(0 votes)