November 15, 2018

සීගිරියේ පිහිටි දිවයිනේ ප්‍රථම හස්ත කර්මාන්ත ගම්මානයත් පෞද්ගලික ආයතනයකට (PHOTOS)

ජාතික ශිල්ප සභාවට අයත් සීගිරිය පිහිටි  අංගසම්පූර්ණ වූ  දිවයිනේ ප්‍රථම හස්ත කර්මාන්ත ගම්මානය පෞද්ගලික ආයතනයකට බදු දීම සඳහා මේ වන විට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය සූදානමක් පවතින බව හස්ත කර්මාන්ත ශිල්පීහු පවසති.

පසුගිය රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යව සිටි 2003 වසරේ සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානය ඉදිකොට දිවයිනේ හස්ත කර්මාන්ත ශිල්පීන් හට මෙය ලබාදී තිබිණි.

වෙළද කුටි හස්ත කර්මාන්ත ශිල්පීන් සඳහා නිෂ්පාදන කුටි රංගන ශාලා ආපන ශාලා සහ අලෙවිසැල් ආදී සියලු අංගවලින් සම්පූර්ණ වූ හස්ත කර්මාන්ත ගම්මානය දිනෙන් දින අකර්මණ්‍ය තාවයට පත් කරමින් මෙය ශිල්පීන් ඉවත්වන තත්ත්වයට පත්ව මේ වන විට පවත්වාගෙන යෑමට නොහැකි ආකාරයට පත්වී තිබේ.

පෙරදා හස්ත කර්මාන්ත ශිල්පීන් සියයක් පමණ මෙම ස්ථාන ගම්මානයේ සිය කර්මාන්ත කටයුතු සිදුකරගෙන ගිය අතර මේ වන විට හස්ත කර්මාන්ත ගම්මාන සිටින ශිල්පීන් ගණන අටකි. මෙහි ලී කැටයම් බතික් නිර්මාණ පිත්තල භාණ්ඩ නිර්මාණය චිත්‍ර කලාව මැටි කර්මාන්තය පෙහෙකම් කර්මාන්තය ලාක්ෂා කර්මාන්තය ආදී හස්ත කර්මාන්තය ශිල්පීන් මෙහි සේවය කළහ.

සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානය පිහිටා ඇත්තේ සීගිරිය ගල ආසන්නයේම ප්‍රධාන මාර්ගයට මුහුණලා ය .සීගිරිය මේ වන විට සංචාරක පුරවරයක් බවට පත්ව ඇතත් ජාතික ශිල්ප සභාව  ශිල්පීන්ට අවශ්‍ය පහසුකම් හා මෙම ස්ථානයට විදේශික සංචාරකයන් ගෙන්වා ගැනීමට නොහැකි වීම පදනම් කරගෙන ඉතා සූක්ෂම ලෙස කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය මඟින් පෞද්ගලික ආයතනයකට මෙම දිවයිනේ ප්‍රථම හස්ත කර්මාන්ත ගම්මානය බදු දීමට සාකච්ඡා වට කිහිපයක් අරලියගහ මන්දිරයේ දී පවත්වා ඇතැයි තොරතුරු වාර්තා වෙයි.

සංස්කෘතික ත්‍රිකෝණ හෝටල් සංගමයේ සභාපති සාලිය දයානන්ද මහතා අප සමග කියා සිටියේ අමාත්‍ය රිසාඩ් බදුර්දීන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී පැවැති බවත් සීගිරිය වනජීවී කාර්යාලය ප්‍රධානීන් හෝටල් සංගමයේ සභාපති වරයා ජාතික ශිල්ප සභාවේ සභාපති ඇතුලූ කිහිපදෙනෙකු පෞද්ගලික ආයතනයකට ජාතික ශිල්ප සභාවට අයත් දිවයිනේ ප්‍රථම හස්ත කර්මාන්ත ගම්මානය බදු දීම සඳහා වූ සාකච්ඡාවකට සහභාගි වූ බවද පැවසීය.

දිවයිනේ ප්‍රථම හස්ත කර්මාන්ත ගම්මානය මේ වනවිට ශිල්පීන් නොමැතිව පාලු ස්වභාවයක් ගෙන තිබේ. එමෙන්ම එහි පිහිටි ගොඩනැගිලි රැසක් විනාශ මුඛයට ඇද දමා තිබෙන ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකියාව ලැබිණි.

 මෙම ගම්මානයට අප යනවිට පෙරදා සියයක් පමණ ශිල්පීන් සිටි ගම්මානයේ එක් ශිල්පියෙකුට පමණක් සීමා වී ඇති අයුරු දැක ගැනීමට හැකියාව ලැබිණි .එහි සිටි බතික් ශිල්පියා කියා සිටියේ පෞද්ගලික ආයතනයකට මෙය ලබාදුනහොත් තමන්ටද එළියට යෑමට සිදුවන බවය. ඊට වඩා මෙම ස්ථානයට සංචාරකයන් ගෙන්වාගැනීම සදහා වැඩපිළිවෙළක් සකස්කර  ජාතික ශිල්ප සභාවට අයත් දිවයිනේ ප්‍රථම හස්ත කර්මාන්ත ගම්මානය පෞද්ගලික ආයතනයකට ලබා දීම සිදු නොකළ යුතු යැයි හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳව සත්‍යය අසත්‍යය දැනගැනීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහතාට විමසීමට උත්සාහ කළද ඔහු ජංගම දුරකථනයට සම්බන්ධ නොවූයේය. පසුව ජාතික ශිල්ප සභාවේ අධ්‍යක්ෂිකා චන්දිමා ලියනගේ  මහත්මියගෙන් මේ පිළිබඳව අප විමසීමක් කළෙමු.

ඇය කියා සිටියේ ජාතිකසිල්ප සභාවට විශාල මුදලක් මෙම ගම්මානය නඩත්තු කිරීම සඳහා වියදම් වන නිසා සම්පූර්ණ කොටස නොව අර්ධ වශයෙන් පෞද්ගලික ආයතනයකට ලබාදීමට සාකච්ඡා මට්ටමේ පවතින බවය. එමෙන්ම මෙය විකුණනවා නොවන බවත් වෙනත් ක්‍රමවේදයක් සාකච්ඡා කරන බව සඳහන් කළාය . එමෙන්ම සීගිරියේ පිහිටි මෙම හස්ත කර්මාන්ත ගම්මානය බදු දීම හෝ පෞද්ගලික අංශයට ලබා දීම සඳහා සාකච්ඡාව පසුගියදා අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණු බව ඇය පිළිගත්තාය. එමෙන්ම බදුදීමට හෝ වෙනත් ක්‍රමවේදයක් සඳහා පෞද්ගලික අංශයට ලබාදීමට යන අය සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ අය නොවන්නේ දැයි අප විමසීමක් කළෙමු. එහිදී අධ්‍යක්ෂිකා චන්දිමා ලියනගේ මහත්මිය කියා සිටියේ එම පෞද්ගලික ආයතනය කවුරුන්ද යන්න තමන් නොදන්නා බවත් අරලියගහ මන්දිරයෙන්  නම් කරපු අය සමඟ මෙම සාකච්ඡාව පැවැත්වූ බව සඳහන් කලාය. කෙසේවෙතත් ශිල්පීන්ට  අයිතියක් පවතින ආකාරයෙන් මෙම ස්ථානය සංවර්ධනය කිරීම සඳහා පෞද්ගලික ආයතන සමග අත්වැල් බැඳ ගන්නා බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

Rate this item
(0 votes)