April 20, 2024

ගෝඨාගේ අමෙරිකා ගමන දේශපාලනයට පාර කපයි - ගෝඨා හිරකරන්න ලබන සතියේ විශේෂ මහාධිකරණයේ නඩු

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පසුගියදා අමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

මාසයක කාලයක් ගෝඨා ඇමෙරිකාවේ සිටින අතර සැප්තැම්බර් මුල් සතියේ යළි දිවයිනට පැමිණීමට නියමිතය.

දේශපාලනමය වශයෙන් වැදගත් ක්‍රියාදාමයක මුල් පියවර සකසා ගැනීම සඳහා ගෝඨා මෙසේ ඇමෙරිකාවට ගිය බව ආරංචි මාර්ග පැවසී ය.

ගෝඨාභය පැමිණෙනතුරු "වියත්මඟ" ඇතුළු වැඩසටහන් සම්බන්ධීකරණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ.

විදෙස් ගත වීමට පෙර ගෝඨාභය "වියත් මඟ" සහ "හරිමඟ" ඇතුළු සංවිධානවල නියමුවන් සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති අතර තමන් නැවත පැමිණෙනතුරු ඒවායේ ඉදිරි කටයුතු කළ යුතු ආකාරය ගැන ගෝඨාභය ඔවුන් සමඟ සාකච්ඡා කර ඇත.

ගෝඨාභයට එරෙහිව විශේෂ මහාධිකරණය නඩු

මේ අතර තංගල්ල, වීරකැටිය, මැදමුලන, ඩී.ඒ. රාජපක්ෂ ස්මාරකය හා කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට පොදු දේපළ පනත ප්‍රකාරව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් 07දෙනෙකුට එරෙහිව ඉදිරි සතිය තුළදී විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකිරීම සඳහා නීතිපතිවරයා කටයුතු කරමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පැවසී ය.

මෙම නඩුවට අද‌ාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අද‌ාළ අංශය සමග සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා ඇති බවත්, ඒ අනුව සැකකරුවන්ට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරමින් ඉතා කඩිනමින් නඩු පැවරීම සඳහා කටයුතු සිදුකරමින් පවතින බවත් වාර්තා වේ.

මෙම නඩුවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් හත් දෙනාට ලබන සැප්තැම්බර් මස 07 වැනි දා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් අධිකරණය නොතීසි නිකුත් කළේ ඉකුත් ජූලි මස 20 වැනිද‌ාය.

හිටපු ආරක්ෂක ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියනආරච්චිගේ ප්‍රසාද් හර්ෂාන් ද සිල්වා, එහි සාමාන්‍යාධිකාරි ගම ඇතිරාළලාගේ භද්‍රා උදුලාවතී කමලදාස, සුසම්මික කේමින්ද ආටිගල, සමන් කුමාර අබ්‍රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය යන අය මෙම නඩුවේ සැකකරුවෝ වෙති.

ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 49 කට ආසන්න මුදලක් (රු.48,563,929.06) සම්බන්ධයෙන් සාපරාධි විශ්වාසය කඩකිරීමේ වරද සිදුකිරීම සම්බන්ධව දණ්ඩ නීති සංග්‍රහයේ 113 (අ), 102 සහ 388 වගන්ති සමග කියවිය යුතු 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරැදි පිළිබඳ පනතේ 5 (1) වන වගන්තිය යටතේ වරදක් සිදුකර ඇති බවට අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 120 (3) අනුව කරුණු වාර්තා කරමින් මෙම සැකකරුවන් අපරාධයට අදාළ සැකකරුවන් ලෙස නම් කර සිටින බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

Rate this item
(3 votes)
Last modified on Friday, 17 August 2018 11:47