November 16, 2018

ශ්‍රීලංකන් තවත් මූල්‍ය අක්‍රමිකතාවක්‌ හෙළිවෙයි! කුමාර් ස්‌ටිකර්ස්‌ ඇතුළු සමාගම් අතර ගිවිසුම්වල ලිපිගොනු අතුරුදන්!

කොමිසම හමුවේ සාක්‍ෂි දෙන සියලු දෙනාට නීතියේ ආරක්‍ෂාව හා රැකවරණය හිමිවන බව ශ්‍රී ලංකන්, ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ගුවන් සේවාවන්හි දූෂණ අක්‍රමිකතා විමර්ශනයට පත් කළ පංච පුද්ගල ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා ඊයේ (12) අවධාරණය කළේය.

සාක්‍ෂි දීම හේතුවෙන් යම් සාක්‍ෂිකරුවකුට අගතියක්‌ සිදුවුවහොත් ඒ බව කොමිසමට පැමිණිලි කර නීතියේ රැකවරණ ලබා ගත හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කොමිසමේ කටයුතු ඊයේ ආරම්භ වීමෙන් අනතුරුව සමාගම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ නිලධාරී ඉන්දික රොෂාන් මහතාගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමග ගනුදෙනු සිදුකළ ආයතන පිළිබඳ තොරතුරු ලබා ගැනීම වැඩිදුරටත් සිදුවිය.

එහිදී කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු (අලෙවි ප්‍රවර්ධන) චමින්ද පෙරේරා මහතා සඳහන් කර ඇත්තේ පසුගිය කාලයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය ප්‍රවර්ධන කටයුතු සඳහා කුමාර් ස්‌ටිකර්ස්‌ ඇතුළු සමාගම් සමග ගිවිසුම්ගතව ඇතත් එම ගිවිසුම්වලට අදාළ වෙනත් ලියකියවිලි කිසිවක්‌ සොයා ගැනීමට නොමැති බවයි.

එසේ ගිවිසුම්ගත වීමේදී සිදුකළ ටෙන්ඩර් කැඳවීම්, මිල ගණන් කැඳවීම් ආදියට අදාළ ලිපිගොනු කිසිවක්‌ නොමැති බවද කොමිසම හමුවේ ඒ මහතා කියා සිටියේය.

ඒ අනුව එම ගිවිසුම්වලට අනුව සිදුවූ ගනුදෙනුවලදී කිසියම් මූල්‍ය අක්‍රමිකතාවක්‌ සිදුව තිබෙන බවට හැඟී යන්නේ යැයිද ශ්‍රී ලංකන් ජ්‍යෙෂ්ඨ කළමනාකාර (අලෙවි ප්‍රවර්ධන) චමින්ද පෙරේරා මහතා කොමිසම ඉදිරියේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

චමින්ද පෙරේරා මහතා තවදුරටත් කොමිසම හමුවේ සාක්‍ෂි ලබාදීමට නියමිත අතර කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොමිසම යළි ලබන 16 වනදා රැස්‌වීමට නියමිතය.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 July 2018 10:03