November 14, 2018

විරෝධය නොතකා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න රජයේ සුදානමක්

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ඒකමතික අවධානය යොමුව ඇති බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (10) පැවැති අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පිළිබඳ තමා ස්තූතිවන්ත වන බවත් ඉතිහාසයේ පළමුවරට මෙවැනි යෝජනාවක් සඳහා කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරු සියලු දෙනාගේ සහයෝගය ලැබුණු බවත් කිසිවෙකුත් ඊට විරෝධය නොදැක්වු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මත් කුඩු ගෙනෙමින් බන්ධනාගාරයේ සිටම රට විනාශ කරන පුද්ගලයින් කෙසේ හෝ නැති කළ යුතු බවත් එයට කැබිනට් මණ්ඩලයේම සහයෝගය හිමිවීම විශේෂත්වයක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට මහනායක හිමිවරුන් කිසිලෙසක විරුද්ධ නොවන බවත් කවුරු විවේචනය කලද කවුරු විරුද්ධ වුවත් මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

කෙසේවෙතත් ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මත්ද්‍රව්‍ය වැරැදිවලට මරණ දඬුවම නියම වී ඇති පුද්ගලයන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතු බවට තමාට දැඩි බලපෑමක් එල්ලවී ඇති බැවින් එය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති අතර එම ප්‍රකාශය ඇමැතිවරුන් සියලු දෙනාම ඒකමතිකව අනුමත කර තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළව විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත. ඇමැතිවරුන් සියලු දෙනා අත ඔසවමින් එම කැබිනට් පත්‍රිකාව අනුමත කර තිබේ.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරැදිකරුවන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින පුද්ගලයන් ගැන සම්පූර්ණ වාර්තාවක් ඉදිරි කාලය තුළ කැබිනට් හමුව සඳහා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපතිවරයා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියට එහිදී නියෝග කර ඇත.

මෙම වැරැදි සම්බන්ධයෙන් නමගිය ජාවාරම්කරුවන් 19 දෙනකු පිළිබඳ තොරතුරු තමන්ට ලැබී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 11 July 2018 17:16