April 19, 2024

කොමිසමේ විමර්ශන කාල රාමුව සංශෝධනයට  

උතුරු හා නැගෙනහිර පළාත් වලින් අතුරුදහන් වූවා යැයි පැවසෙන පුද්ගලයින් සම්බන්ධ පැමිණිළි විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කාල රාමුව 1983 සිට 2009 දක්වා කාල පරිච්ඡේදය ආවරණය වනසේ සංශෝධනය කර ඇති බව රජය පවසයි. 

මීට පෙර මෙහි කාල පරිච්ඡේදය වූයේ 1990 සිට 2009 දක්වාය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියමයෙන් පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට අනුකූලව මීට අදාල ගැසට් නිවේදනය ඊයේ (25) නිකුත් කර තිබේ.

විමර්ශන කාල පරිච්ඡේදයේ වෙනස් වීම අගය කරන බවත් යාපනය, කිලිනොච්චි හා මඩකලපුවේ සංචාරය කළ අවස්ථාවන්හිදී වෙනත් සංවිධාන වල ක්‍රියාකරකම් පිළිබඳව පැමිණිළි ලැබූ බවත් ඉන් කොමිසමට ලබාදී ඇති වරම වූයේ 1990 - 2009 කාලය අතරතුර සිදුවීම් විමර්ශනය කිරීම හෙයින් එම පැමිණිළි පිළිගැනීමේ හැකියාවක් නොතිබූ බව කොමිසමේ ලේකම් එච්.ඩබ්.ගුණදාස මහතා පැවසී ය.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල පල කළ මහජන නිවේදනයන්ට ප්‍රතිචාර ලෙස දිවයිනේ සියළු පළාත් වලින් මේවන විට පැමිණිළි 16,000 ක් පමණ ලැබී තිබෙන බවත් විමර්ශන චාරිකා වලදී සාමාන්‍යයෙන් නව පැමිණිළි 300 - 400 ක් පමණ ලැබීමෙන් මහජනයාගේ ප්‍රතිචාර යහපත් මට්ටමක ඇති බව පෙනී යන බවත් කොමිසමේ සභාපති පරණගම මහතා පෙන්වා දෙයි. 

Rate this item
(0 votes)