June 18, 2018

"වසර 20ක වැඩ වසර 3න් අපි කළා" - තලතා

අපි බලයට පත් වෙලා වසර තුනක් අතුළත වසර 20 ක් තුළ කරන්න බැරි වු වැඩ කොටසක් කළා ඒත් සමහර අයට මේවා අද අමතක වෙලා ඇති බව අධිකරණ ඇමති තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේ රුපියල් ලක්ෂ 20 ක වියදමකින් ඉදි කල නිවිතිගල වටාපොත නිල සෙවන ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට පසුගියදා (10) එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“අපිට හිතා ගන්න බැහැ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනතාව මොනවා දිහා බලලා  ඡන්දය දුන්නා ද කියලා .අපි කිවුවා කවුරු කැමති වුණත් අකමැති වුණත් 2020 වෙනකල් මේ රජය තියෙනවා කියලා ඒක සමහරුන්ට තේරුම් ගන්න බැරි වුණා.අවබෝධයක් තිබුණේ නැහැ.සමහර නිලධාරීන් පවා පුදුම විදිහට දේශපාලනයේ නිරත වුණා.දැන් බලයට පත් වුණ ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් කියනවා අපි හැදුව පාරවල් නඩත්තු කරන්න සල්ලි නැහැ කියලා .එහෙනම් මොකට ද ඔය තරම් දගලලා බලයට ආවේ.මොකටද මේ අයට පක්ෂයකුත් නැතිව නායකයෙකුත් නැතිව ඡන්දේ දුන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ.අපි නිවිතිගල අංග සම්පුර්ණ නගරයක් කරන්න කටයුතු කර ගෙන යනවා.”

“ඒ සදහා විශාල මුදලක් ලැබිලා තියෙනවා.ඉදිරියටත් ලැබෙනවා.ඒත් පාරක් නඩත්තු කර ගන්න බැරි ප්‍රාදේශීය සභාවකට ඒවා හදලා දීලා වැඩක් නැහැ.පසුගිය වසර තුනේ අපිට ප්‍රාදේශීය සභාවක පළාත් සභාවක බලය නැතිව වසර තුනක් තුළ දැවැන්ත සංවර්ධනයක් කළා .බලය කියන එක හරියට රෝදේ වගේ. අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන් .බලය තිබුණොත් වැඩ කරනවා .අපේ ජනතාව තේරුම් ගන්න ඕන 2015 ජනවාරි 08 වෙනිදාට පෙර රට තිබුණේ කොහොම ද කියලා. රජයේ නිලධාරීන්ට තමන්ගේ ආත්ම ගරුත්වය තියා ගෙන වැඩ කරන්න බැරි වුණා.අද ඒ අයට ඒවා අමතක වෙලා.”යැයිද  අධිකරණ අමාත්‍යවරිය සදහන් කළාය.

 

Rate this item
(0 votes)