May 26, 2018

තෙල් මිල වැඩි කළ දා මහා වංචාවක් - කෝටියක පාඩුවක් වූ බව ඇමැති අර්ජුණ පිළිගනී

ඉන්ධන මිල ඉහළ දැමූ දින සිදු වූ ඉන්ධන බෙදා හැරීමේ වංචාවකින් කෝටියකට ආසන්න පාඩවුක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට (CPSTL) සිදුව ඇතැයි අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

එතුමා වැඩිදුරටත් පැවසුවේ මූලික විමර්ශන අවසන් වීමෙන් පසුව එම වංචාවට වගකිය යුතු නිලධාරීන් හඳුනාගෙන දැඩි දඬුවම් දීමට කටයුතු කරන බවයි.

සිදු වූ පාඩුව වගකිව යුතු නිලධාරීන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ ( 16 ) ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකින් පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ වංචාව සම්පූර්ණයෙන්ම සිදු කරලා තියෙන්නේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් පිටතට ගිහිල්ලා අපේ ඇස් වහලා. එතැනදී සමහර ඉන්ධන හල්වලට මීට පෙර සුමානෙකදී නොගියපු ඉන්ධන තොග මේ පැය කිහිපයේදී ලබා දී තිබෙනවා. ඒ වගේම කලින් දවසේ මුදල් බැන්දත් ඉන්ධන තොග නොලැබුණු අය ඉන්නවා. සමහරු එදා පැයකින් මුදල් බැදලා තවත් පැයකින් ඉන්ධන තොග අරන් තියෙනවා. එය සම්පූර්ණයෙන් වංචාවක්. එම වංචාවට වගකිව යුතු නිලධාරීන් හඳුනා ගැනීමට මේ වන විට පුළුල් විමර්ශනයක් සිදු කෙරමින් පවතිනවා. ඒ වගේම පුළුල් විමර්ශනය අවසන් වූ පසුව ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙම වංචාව FCID එකට භාර දීමටත් කටයුතු කරනවා. ඇත්තටම මෙවැනි ඉන්ධන ජාවාරම් අවුරුදු ගානක් තිස්සේ සිදුවෙන දෙයක්. ටැංකි වලින් හොරකම් කරනවා. ඉන්ධන කවලම් කරනවා. එවැනි වංචා නැවතීමට මම තදින්ම කටයුතු කරනවා. පහුගිය කාලේ අපි ඉන්ධන හලක් වසා දැම්මා. කවුද, තරාතිරම මොකද්ද කියලා බැලුවේ නැහැ. නීතිය තදින් ක්‍රියාත්මක කළා. නමුත් මේ වැරදි දේවල්  නතරකරන්න හදනකොට සමහර ඇමතිවරුත් අපිට ගහනවා.”

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් පසුගියදා මිගමුව වෙරළ තීරයේ ගම්මාන රැසක ධීවරයින් මුහුදු යාමෙන් වැලකී සිටී අතර ධීවර අමාත්‍ය වරයා සමඟ කළ සාකච්ජාවකින් අනතුරුව ඊයේ ධීවර සංවිධාන වර්ජනය අවසන් කරනු ලැබීය.

මෙම සාකච්ජාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා ද එක්ව සිටියහ.

 

Rate this item
(0 votes)