May 26, 2018

බස් වර්ජනයට මුහුණ දීමට ලංගම රියදුරු - කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කරයි

අද(16) මධ්‍යම රාත්‍රියේ සිට පෞද්ගලික බස් සංගම් විසින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති වර්ජනය හේතුවෙන් සියලුම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරන්ගේ , කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර තිබේ.

කිසියම් ආකාරයෙන් බස් වර්ජනයක් ඉදිරියේ දී ක්‍රියාත්මක වුවහොත් ඊට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පැය 24 පුරා බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා පැවසී ය.

මේ වනවිට සියලුම බස්රථ රියදුරන්ගේ, කොන්දොස්තරවරුන්ගේ සහ කාර්මිකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට ප්‍රාදේශීය කාර්යාලවලට දන්වා ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

දෛනික මඟී කාලසටහන අනුව නොව මඟි අවශ්‍යතාවය අනුව බස් රථ ධාවනයට එක් කරන ලෙස ද අදාළ අංශ වෙත මේ වනවිට උපදෙස් ලබාදී ඇතැයි ද හෙතෙම පැවසී ය.

ඉන්ධන මිල වැඩීවීමත් සමඟ ඊට සමගාමීව බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් වූ අතර බස් ගාස්තුව 6.56%කින් සංශෝධනය කිරීමට අනුමැතිය හිමි විය.

මෙම වැඩි වීම ප්‍රමාණවත් නොවන බව බස් සංගම් ප්‍රකාශ කර ඇති අතර බස් සංගම් විසින් වර්ජනයක් ද ක්‍රියාත්මක කරන බව මේ වනවිට ප්‍රකාශ කර තිබේ.

Rate this item
(0 votes)