September 21, 2018

තෙවරප්පෙරුමට එරෙහිව අඹේවෙල ගොවීන් උද්ඝෝෂණයක

රාජ්‍ය නිලධාරීන්ට බැන වදිමින් වගාවට හානි කරන කුළු හරක් රක්ෂිතයට මුදා හැරි වනජිවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තවරප්පෙරුම මහතාට එරෙහිව විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවීන් පිරිසක් අඹේවෙල දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත.

නියෝජ්‍ය අමාත්‍යවරයා හොර්ටන් තැන්න ප්‍රදේශයේ සංචාරයක් අතරතුර අඹේවෙල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයට මායිම්ව ගැට ගසා තිබු කුළු හරක් 7 දෙනෙකු රක්ෂිතයට මුදා හැර නුවරඑළිය ප්‍රාදේශිය ලේකම්වරියට හා කෘෂිකර්මය පර්යේෂණ නිලධාරියාට බැණ වැදුණේ යැයි කියන සිද්ධියට විරෝධය පාමිනි.

වැලිමඩ ප්‍රදේශයේ එළවළු වගාව සදහා ගොවීන් විසින් ඇති කරන ලද මී හරක් මිට වසර කිහිපයකට ප්‍රථම කැලයට මුදා හැර ඇති බවත් එම මීහරක් මේ වන විට කැලෑ වැදි එම සතුන් 150-200 අතර ප්‍රමාණයක් කුළු හරක් වශයෙන් බෝ වි රංචු වශයෙන් ගම් වැදි වගාවන්ට හානි සිදු කරන බවත් ඇතැම් අවස්ථාවල එම සතුන් ප්‍රදේශවාසින් හා එම මාර්ගය හරහා ගමන් ගන්නා සංචාරකයින්ට පහර දෙන බව උද්ඝෝෂණයේ නියැලී අඹේවෙල ප්‍රදේශයේ ගොවීන් කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් නුවරඑළිය කෘෂිකර්ම කමිටුවේ නිර්දේශයක් මත ගම් වදින කුළු හරක් අල්ලා මෙල්ල කර අම්බලන්ගොඩ ප්‍රදේශයේ ගොවිපළකට නිත්‍යානුකුල ලෙස රැගෙන යාමට තිබියදි එම මාර්ගයේ ගමන් ගත් නියෝජ්‍ය අමාත්‍යවරයා එම ස්ථානයට පැමිණ මාධ්‍ය සංදර්ශනයක් පවත්වමින් රාජ්‍ය නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ වැදි මෙල්ල කිරීමට ගැට ගසා තිබූ කුළු හරක් රක්ෂිතයට මුදා හැරි බවද පවසයි.

තම වගාවට විශාල වශයෙන් හානි සිදු කරන කුළු හරක් යළිත් වරක් අල්ලා වෙනත් ප්‍රදේශයකට රැගෙන යන ලෙස උද්ඝෝෂණයේ නියැලි ගොවින් අදාළ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි.

නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් මාධ්‍ය හමුවේ සිදු කර ඇති ප්‍රකාශ පදනම් විරහිත බවත් නිත්‍යානුකුලව එම කුළු හරක් රැගෙන යාමට පැමිණි කිසිවෙකුත් පට්ටිපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිමක් සිදු නොකල බවද උද්ඝෝෂණයේ නියැලි අඹේවෙල ගොවින් වැඩිදුරටත් කියා සිටියේය.

(හැටන් රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)