September 21, 2018

සරත් ෆොන්සේකාගෙන් ප්‍රශ්න කරන්න CIDයට නියෝගයක්

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියට හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් ගන්නා ලෙස CIDයට නියෝග කළ බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න මහතා පැවසීය.

ඒ අද (16) මාධ්‍ය හමුවක් කැඳවමිනි.

2008 වසරේ දී පුවත්පතකට ලිපියක් ලියමින් සරත් ෆොන්සේකා මහතාව දැඩි ලෙස විවේචනය කර ඇති බවත් ඉන් අනතුරුව දින 11 කට පසුව කීත් නොයාර් මහතා පැහැර ගෙන පහර දීමකට ලක් වු බව පැහැදිලි වන බව ද අජිත් ප්‍රසන්න මහතා මෙහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකරන්නේ මන්දැයි විමසීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධයෙන් සොයන ලෙස නියෝගයක් අධිකරණය මඟින් ලබා දුන් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

මාධ්‍යවේදීන් පැහැර ගැනීම් හා ඝාතන සිදුවීම්වලට සරත් ෆොන්සේකා මහතා සැකකරුවෙකු බවත් එනිසා ඔහුට අමාත්‍ය ධූරයක් ජනාධිපති විසින් ලබා නොදුන් බවත් මෙහිදි අදහස් දක්වමින් අජිත් ප්‍රසන්න මහතා පැවසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක් ගන්නේ නැහැ. එහෙම තිබියදී තමයි කතානායකගෙන් ප්‍රශ්න කිරීමට යන්නේ. කථානායකවරයා තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මේ සම්බන්ධයෙන් එවකට ඒ පැහැර ගත්ත දවසේ දුරකතනයෙන් කතා කළේ. මේක මම කියන එකක් නෙවෙයි. පත්තරේ දේශපාලන කොළමේ කියන්නේ. මේකේ කියනවා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාව හම්බ වෙනවා පොලිසියේ DIGලා පස් දෙනෙක් ඇවිල්ලා. හම්බවෙලා කියනවා සරත් ෆොන්සේකාට පොලිස් ඇමතිකම දෙන්න එපාලු. ඒකට හේතු දක්වනවා. මොනවද හේතු? මාධ්‍යවේදීන් ඝාතනය හා පැහැරගෙන යාම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා සැක කරන පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට පොලීසිය භාර ඇමැති තනතුර දුන්නොත් අපිට සිද්ධ වෙනවා ඔහුගේ අණ පිළිපදින්න. ඒ නිසා අපිට ඔහුව අත්අඩංගුවට ගන්න හෝ ඔහුගෙන් ප්‍රකාශයක් ගන්න බැරි වෙනවා. ඒ නිසා සරත් ෆොන්සේකාට පොලිස් ඇමතිකම දෙන්න එපා කිව්වා.”

Rate this item
(0 votes)