May 26, 2018

කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධිය: කථානායකගෙන් ප්‍රශ්න කිරීමට CIDය සැරැසෙයි

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස්‌ අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට අදාළව කථානායක කරු ජයසූරිය මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම ප්‍රශ්න කිරීම බොහෝ විට මේ සතිය ඇතුළත පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග පැවසීය.

මීට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කථානායකවරයා දැනුවත් කර ඇති බවද එම ආරංචි මාර්ගය සඳහන් කළේය.

කථානායකවරයා මීට අදාළ ප්‍රකාශ ලබාදීමට හැකි දිනයක් දැන්වූ විගස එම ප්‍රකාශ සටහන් කර ගැනීමට කටයුතු යොදා ඇත.

කීත් නොයාර් මහතාගේ පැහැර ගැනීම පිළිබඳව එවකට ජනාධිපතිවරයාව සිටි මහින්ද රාජපක්‍ෂ මහතාට මුලින්ම තොරතුරු ලබාදී තිබුණේ කරු ජයසූරිය මහතා විසිනි.

ඒ වන විට කරු ජයසූරිය මහතා රජයේ රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

කීත් නොයාර් මහතා පැහැර ගැනීම පිළිබඳව තොරතුරු ලැබුණේ කෙසේද යන්න ඇතුළු තවත් ගැටලු කීපයක්‌ සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග සඳහන් කළේය.

Rate this item
(0 votes)