March 29, 2024

පන්නිපිටිය මැදින් මහා පෙරහැර මංගල්‍යය හෙට

පන්නිපිටිය දෙව්රම් මහා විහාරයේ වාර්ෂික මැදින් මහා පෙරහැර මංගල්‍යය හෙට (24) රාත්‍රීයේ විඳි සංචාරය කිරීමට නියමිතය.

මැදින් මහා පෙරහැරේදී බුදුරජාණන් වහන්සේටත් ධර්ම රත්නයටත් ආර්ය මහා සංඝ රත්නයටත් ප‍්‍රථම පූජෝපහාරය දක්වයි. උඩරට සම්ප‍්‍රදායට මුල්තැනක් ලබාදෙන තෙරුවන් පූජා මහ පෙරහැරේදී රන් කරඬුව තුළ තැන්පත් කෙරෙන සර්වඥධාතූන් වහන්සේලා මංගල හස්තියා මතින් වැඩම කෙරේ. ශ‍්‍රී ලංකාවේ ති‍්‍රපිටක ධර්මය කළුගල් පුවරුමත ලියා ඇති පුදබිම දෙව්රම් විහාරය බැවින් එයට උපහාර කිරීම වශයෙන් ති‍්‍රපිටක ධර්ම ශිලා පුවරුව දෙවන මංගල ඇතු පිටින් වැඩම කරවයි. ආර්ය මා සංඝරත්නය තෙවනුව වැඩම කරවයි.

ඒ පිටුපසින් සුදොවුන් මහමායා පෙරහැර ගමන් කරයි. බෝසත් පුතු මෙළොව ජනිත කළ සුද්ධෝදන මහමායා දෙපළ ප‍්‍රධාන බෝසත් දරුවන් මෙලොව බිහි කර හදාවඩා පෝෂණය කොට සමාජයට වැඩ ඇති දරුවන් බවට පත් කළ සියළු මව්පියවරුන්ට උපහාර පිදීම මෙම පෙරහැරේ අරමුණයි. එවැනි මව්පියවරුන් අතර බුදු දෙමාපියන් පෙරමුණේ සිටින නිසා සුද්ධෝදන මහ රජතුමාගේත් මහමායා දේවියගේත් ප‍්‍රතිමා වහන්සේලා අශ්ව රථය මතින් පෙරහැරේ වැඩම කරවන අතර සුද්ධොදන මහමායා පෙරහැර සබරගමුව සම්ප‍්‍රදායේ නැටුම්වලට මූලිකත්වය ලබා දෙමින් වීථි සංචාරය කරයි. කාන්තාවට ද මෙම පෙරහැරේ මූලිකත්වයන් ලැබෙන අතර රජ පෙරහැරක අසිරියට මෙයින් නිරූපණය වෙයි.

ඒ පිටුපසින් පෙළ ගැසෙන්නේ ලක් පොළෝ තලය ආරක්‍ෂා කර ගන්නටත් ඒ තුළින් ජාතියත් ශාසනයත් සුරකින්නටත් දිවි දෙවෙනි කොට කටයුතු කළ මහා රාවණ රජු ප‍්‍රධාන අපේ අතීත මහරජවරුන් අනුස්මරණය කරමින් ගමන් කරන පෙරහැර වන මහා රාවණ පෙරහැරයි. ලක් පොළොවේ සිට විශ්වයම පාලනය කරන්නට තරම් වූ ශක්තියකින් හෙබි දසවිධ ඥානයකින් පරිපූර්ණ වූ මහා රාවණ රජතුමා අපේ රජවරුන් අතර අති ශ්‍රේෂ්ඨතමයා නිසා සියළු රජවරුන් වෙනුවෙන් මහා රාවණ රජතුමාගේ ප‍්‍රතිමාව මෙම පෙරහරේ හස්තියා පිට වැඩම කරවයි. පහතරට සම්ප‍්‍රදායට ප‍්‍රමුඛස්ථානයක් ලබාදෙන හෙළ මහ රජ පෙරහැරේ ගමන් කරන සියළු ශිල්පීන් පිරිමි පමණක් වේ.

මහා පෙරහැර අවසානයේ මාර්තු 25 වෙනිදා අළුයමේ දිය කැපීමත් මහා රාවණ නානුමුර පූජාවත් දේව දානයක් පැවැත්වේ. සන්ධ්‍යාවෙහි මහා පහන් පූජාවක් පවත්වා දෙවියන්ට පින් දීමෙන් පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත්වේ. මාර්තු මස 30 වන දින මාතෘ දිව්‍ය රාජයා වෙනුවෙන් පැවැත්වෙන සර්ව රාති‍්‍රික මායා මඩු දේව ශාන්තිකර්මය සිදු කරන අතර 31 වෙනි දින අළුයමේ මහමායා නානුමුර පූජාවත් කිරි දානයත් පැවැත්වේ.

Rate this item
(0 votes)