December 18, 2018

අතුරුදන් වූ ධීවරයින් තිදෙනා ඉන්දියාවට ගසාගෙන ගියා දැයි සැකයක්

මුලතිව් නයාරු මුහුදු තීරයේදී ධීවර කටයුතු සඳහා පසුගිය 12 වනදා මුහුදු ගොස් අතුරුදහන් වූ ධීවරයින් තිදෙනා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතරම අද (14) දිනයේදීත් නාවික හමුදාවේද සහය ඇතිව එම ධීවරයින් සෙවීමේ කටයුතු සිදු කරන බවට මුලතිව් පොලීසිය කියා සිටියේය.

අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් ධීවර කටයුතු වල නිරත නොවන ලෙසට දැනුම් දී තිබියදී මෙසේ අදාල ධීවරයින් තිදෙනා ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් ඇති අතර අදාල ධීවර යාත්‍රාවත් සමගම එම ධීවරයින් තිදෙනා මේ වන විටත් අතුරුදහන්ව ඇත.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ හලාවත බංගදෙනියේ පදිංචි 50 හැවිරිදි මිල්රාජ් මිරෙන්ඩා, 48 හැවිරිදි එමානුවෙල් මිරෙන්ඩා හා 24 හැවිරිදි රදන් මිරෙන්ඩා යන ධීවරයින්ය.

මේ අතර අතුරුදහන් වූ ධීවරයින්ගේ පවුල් විසින් සැක පල කර ඇත්තේ අයහපත් කාලගුණයත් සමග ඇති වූ සුලි කුණාටුවකට අතුරුදහන් වූ ධීවරයින්ගේ යාත්‍රාව හසුව ඉන්දියානු මුහුදු තීරයට ගසා ගෙන ගොස් ඉන්දීය වෙරලාරක්ෂක බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත්දැයි සොයා බැලීමට නාවික හමුදාවේ සහය පතන බවටයි.

මේ අනුව අදාල ධීවර යාත්‍රාව ඉන්දියානු සීමාවේ තිබියදී අත්අඩංගුවට පත්ව ඇත්දැයි සොයා බැලීමටද අවශ්‍ය පියවර නාවික හමුදාව විසින් මේ වන විට පියවර ගෙන ඇති අතරම මුලතිව් ධීවරයින්ද අදාල ධීවරයින් සෙවීමේ කටයුතු මේ වන විටත් සිදු කරති.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)