June 19, 2018

ගාල්ලේ කාන්තාවක් සෞදියේදී වෙඩි තබා ඝාතනය කරයි

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක් සෞදි ජාතිකයකු විසින් වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ. මෙලෙස වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ප්‍රියංකා ජයසේකර නමැති 42 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇයගේ මළ සිරුර මේ වන විට එරට අල් රාස් ප්‍රදේශයේ රෝහලක තැන්පත් කර තිබෙන අතර පශ්චාත් මරණ පරීක්ෂණ ඉදිරි දින වලදී පැවැත්වීමට නියමිතය. 

ඇයගේ දේහය කඩිනමින් ලංකාවට ගෙන ඒමට සෞදි අරාබි තානාපති කාර්යාලය සමග එකතුවී විදේශ රැකියා අමාත්‍යාංශය මේ වන විට ඉදිරි පියවර ගනිමින් සිටී.

ඝාතනය සම්බන්ධයෙන් නීතිමය පියවර ලබා ගැනීමටත් ඇයගේ පවු‍ලේ අයට වන්දියක් ලබා දීමටත් එම අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

සෞදි අරාබියේ බුරේඩ් හි පිහිටි ඝාතකයාගේ නිවසේදී පසුගිය සෙනසුරාදා උදෑසන මෙම වෙඩි තැබිම සිදුව ඇති බව එරට තානාපති ආරංචි මාර්ග පවසයි. මෙම වෙඩි තැබිම සිදු කළේ යැයි සැක කරන සෞදි ජාතිකයා ලාංකික කාන්තාව ඝාතනය කිරීමෙන් පසු එම ගිනි අවියෙන්ම වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බව වාර්තා වේ. 

මෙම වෙඩි තැබිම සිදුකළ පුද්ගලයා 31 හැවිරිදි තරුණයකු වන අතර ඔහු මානසික ආබාධයකින් පෙළෙන තැනැත්තකු බව සෞදි ‍පොලීසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එරට ‍පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා විය.

Rate this item
(0 votes)