June 19, 2018

දුම්කොළ වගා කිරීම උතුරේ ගොවීන් නවතා දමයි

විවිධ ගැටළු හා බාධක රැසකට මුහුණ දීමට සිදුව ඇති නිසා මේ කන්නයෙන් පසුව නැවත දුම්කොළ වගා නොකරණ බව යාපනයේ දුම්කොළ වගා කරන්නන් කියා සිටිති.

රජය දුම්කොළ සදහා පනවා ඇති නීතිරීති දැඩි වීමත් සමගම ඒවා දුම්කොළ වගාව සදහාද බලපා ඇති බව පෙන්වා දෙන යාපනයේ දුම්කොළ ගොවීන් දුම්කොළ බීජ සපයා ගැනීමේ සිටම එම නීතිරීති වලට තමන්ට යටත් වීමට සිදුවූ බව කියා සිටියහ.

යාපනයේ වඩමරච්චි ඇතුළු ප්‍රදේශ ගණනාවක මේ දිනවල දුම්කොළ වගාවලින් අස්වැන්න නෙලීම ආරම්භ වීමත් සමගම දුම්කොළ මිල ඉතා සීග්‍රයෙන් පහත වැටෙන්නට පටන්ගෙ න ඇතැයි යාපනයේ දුම්කොළ ගොවීන් පවසන අතර දුම්කොළ මිලට ගන්නා අයෙකු යාපනයෙන් සොයා ගැනීම පවා ප්‍රශ්නයක් වී ඇතැයි කියා සිටිති.

පසුගිය වසරේ මෙම කන්නයේදී දුම්කොළයක් 180 කට අලෙවි කරගැනීමට හැකි වුවත් මෙවර තම දුම්කොළයක් තොග වශයෙන් රුපියල් 125 කටවත් අලෙවි කරගැනීමට නොහැකි වී ඇතැයි ගොවීන් කියා සිටිති.

දුම්කොළ වගාවට වඩා කපන ලද දුම්කොළ පදම්කොට පැණි යොදා පැණි දුම්කොළ වශයෙන් සකස් කිරීම ඉතා අසීරු ක්‍රියාවක් බව පෙන්වා දෙන යාපනයේ දුම්කොළ ගොවීන් දුම්කොළ වියළීමේදී දුම්කොළ පෝරණුවලට ගිණි ඇවිළීමෙන් ඇතැම් විට දුම්කොළ කිලෝ 2000ක් 3000 ක් විනාශ වන අවස්ථාද ඇති බව කියා සිටිති.

මෙතරම් මහන්සියක් වී සකස් කරණු ලබන දුම්කොළයක් රුපියල් 200 කටවත් අලෙවි කරගැනීමට නොහැකිනම් එම ගොවිතැනෙන් පලක් නොමැති බව යාපනයේ දුම්කොළ ගොවීන් කියා සිටිති.

(දිනසේන රතුගමගේ)

Rate this item
(2 votes)