June 19, 2018

"සමාජ මාධ්‍ය තහනම නිසා රාජ්‍ය අදායම ඉහල ගිහින්" - ජනපතිගෙන් ප්‍රකාශයක්

ෆේස්බුක් තහනම නිසා තිබුණට වඩා දවසේ ආදායම මිලියන 200ට වඩා වැඩි වී ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඒ ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපතිවරයා  සහ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් අතර ඊයේ (13) ටෝකියෝ නුවර ඉම්පීරියල් හෝටලයේදී පැවති හමුවකදීය.

එහිදී ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.

“විශේෂයෙන්ම මහනුවර සිද්ධිය එක්කම ඒ ගැටුම් වැඩි වෙන්න මූලික ස්ථානය ගත්තොත් තෙල්දෙණිය සිද්ධිය එතනට ජනතාව ඒකරාශී කරන්න මූලිකත්වය ගත්තේ ඔය ෆේස්බුක් වෙබ් සයිඩ්. අපි රජය විදියට තාවකාලික තහනම ඇති කළේ නැත්තම් සමහර විට අද වන විටත් මහනුවරින් එහා රටටම පැතිරිලා ඒ බරපතල ගැටුම් සහගත තත්ත්වය. ඒ නිසා අපිට සිද්ධ වුණා තාවකාලිකව එය නවත්තන්න. දැන් තාවකාලික ෆේස්බුක් නවත්තපු නිසා ඒකෙන් හොඳ ප්‍රතිපලයක් ඇති වුණා වගේම එකෙන් වෙච්ච පාඩු අලාභත් අපි දන්නවා. මේකට කිසි සේත්ම අත තියන්න බැහැ, මේකට මුකුත් කරන්න බැහැ කියලා කලින් කතා කළාට අපි සතියක් මේක වහලා දාපුවාම ලෝකේ හැම තැනම ඉන්න ලොකු සමාගම් වල ලොකු මහත්තුරු දැන් පහුගිය සතියේ ඉඳලා ලංකාවට එනවා. අපේ කොම්පැනි වලට ලොකු පාඩුවක් කියලා. අදායම් බැහැලා කියලා ඒගොල්ලන්ගේ. රජයේ ආයතන වල ආදායම හොඳට ඉහළ ගිහින් තියෙනවා ෆේස්බුක් වෙබ් සයිට් වැහුවට පස්සේ.”

“ටෙලිකොම්, විදුළි සංදේශ නියාමන කොමිසම, TRC දවසකට තිබුණට වඩා දවසේ ආදායම මිලියන 200ට වඩා දවසේ ආදායම වැඩි වෙලා තියෙනවා. දවසේ එන ගාන. අපි බැනුම් අහනවා, රට විනාශ වෙනවා, බරපතල සිද්ධීන් ඇති වෙනවා ඒ අතර අපේ ආණ්ඩුවේ ආදායමේ කෑල්ලක් ගලවා ගන්නවා. මේ වෙන සිද්ධීන් පාලනය කිරීම පිළිබඳව අයහපත් දේවල්, ජාතික සමඟිය නැති කරන දේවල්, ජාතික ආරක්ෂාව, පුද්ගලයින්ට කරන නින්දා අපහාස, මේවාට මම කිව්වා අපි ඒ සමාගම් එක්ක එකඟතාවයක් ඇති කර ගමු, ඒවා ඇති නොවන්න ඉවත් කර ගන්න වැඩපිළිවෙලක්. නමුත් සමාජය විනාශ කරනවා නම් යම්කිසි පැත්තකින් ඒක යම්කිසි පාලනයක් තියෙන්න ඕනේ.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)