December 18, 2018

කොළඹ කුණු කුණු වෙයි: කොළඹ කුණු ප්‍රශ්නය යළිත් උග්‍ර අතට

කොළඹ මහ නගර සභාව කසල ඉවත් නොකිරීම හේතුවෙන් මේ වන විට කොළඹ නගරයේ මාලිගාකන්ද, මරදාන, දෙමටගොඩ ආදී ප්‍රදේශ රැසක සතියක පමණ කාලයක් තිස්සේ කසල ගොඩගැසී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

කොළඹ මහනගර සභාව කසල එක්රැස් කිරීම සඳහා නොපැමිණීම හේතුවෙන් තමන් මෙම ගැටලුවට මුහුණදී ඇති බවත් කසල වර්ගීකරණය කළ ද මහනගර සභාවේ සේවකයින් ඒවා රැගෙන යාමට නොපැමිණෙන බවත් එම ජනතාව පෙන්වා දෙති.

වර්ගීකරණය නොකර ලබාදෙන මිශ‍්‍ර කසල බැහැර කිරීම ගැටලූවක් වී ඇති බැවින් තව දුරටත් එම කසල භාරගැනීම කළ නොහැකි බව කොළඹ මහ නගර සභාව පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොළඹ වැඩබලන නාගරික කොමසාරිස් එල්.ආර්.එල් වික‍්‍රමරත්න මහතා පැවසූවේ කොළඹ මහ නගර සභාව විසින් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කසල අංගනයකට කසල බැහැර කරන අතර මේ වනවිට එයට වෙන් නොකළ කසල භාරගැනීම නතර කර ඇති බැවින් මෙම ගැටලූවට මුහුණ පෑමට සිදුව ඇති බවයි.

එබැවින් වර්ගීකරණය නොකර බැහැර කර ඇති කසල ඉවත් කිරීම ගැටලූවක් වී ඇතැයිද එබැවින් කසල නියමිත පරිදි වර්ගීකරණය කර කොළඹ මහ නගර සභාවේ කසල භාරගන්නා රථවලට ලබාදෙන ලෙස සහ වෙන් නොකළ කසල මහ මග දමා නොයන ලෙස නැවතත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඔහු සඳහන් කළේය.

නීති විරෝධී ලෙස මහ මග කසල බැහැර කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක‍්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද වැඩ බලන නාගරික කොමසාරිස්වරයා අවධාරණය කළේය.

බහුතරයක් ජනතාව වර්ගීකරණය කර කසල ලබාදුන්නත් ඇතැමුන් තවමත් එසේ නොකර මිශ‍්‍ර කසල මහ මග දමා යන බව ද පසුගිය කාලයේ නගරයේ අලංකරණය ගැන සිතා එම කසල ද බැහැර කිරීම සිදුකළ නමුත් තව දුරටත් එසේ කළ නොහැකි බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

මීතොටමුල්ල කසල කන්ද කඩාවැටීමෙන් ඇතිවූ තත්ත්වය සමඟ කොළඹ මහ නගර සභාව තුළ කසල බැහැරකිරීම පිළිබඳ ගැටලූවක් ඇතිවූ අතර ඒ හේතුවෙන් කසල වර්ගීකරණය කර ලබාදීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබිණි.

Rate this item
(0 votes)