September 23, 2018

වෙබ් මට්ටු කරන්න රජයේ සූදානමක්! සමාජ වෙබ් අඩවි තහනමට රජය සැරසෙයි?

රටතුළ ජාතීවාදී ආගම්වාදී සහ අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීම නැවතී ඇතිබවට ආරක්ෂක අංශ රජයට වාර්තාකළ පසුව සමාජ මාධ්‍ය ජාලා තහනම ඉවත්කීරීම සම්බන්ධයෙන් සලකා බලන බවද ජනාධිපති ලේකම් ප්‍රනාන්දු මහතා පවසයි.

එමෙන්ම ආගම්වාදී ජාතිවාදී ප්‍රචන්ඩ ක්‍රියා පැතිරයාම හේතුවෙන් පනවනු ලැබු සාමාජ මාධ්‍ය ජාල තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ආ‍ණ්ඩුව කිසිදු තීරණයක් ගෙන නොමැති බව ද ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මහනුවර ප්‍රදේශයේ ජාතිවාදී සිදුවීම් උත්සන්නවීම හේතුවෙන් පසුගිය 07 දා සිට සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීමට රජය තීරණය කළේය.

එමෙන්ම ජාතිවාදී ආගම්වාදී ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා තුළ පලකළ නොහැකි අන්දමින් සාමාජ මාධ්‍ය පාලනය (FILTER) කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කරන බව ඔහු පෙන්වා දුන්නේය.

පාර්ශ්ව දෙකකින් ඉල්ලීම්

මේ අතර ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ (11) එක්වෙමින් ධීවර අමාත්‍ය හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ බොහෝදුරට පාර්ශ්ව දෙකකින් ඉල්ලීම් පවතින බවත් එක් පාර්ශ්වයක් සම්පූර්ණයෙන්ම සමාජ වෙබ් අඩවි තහනම් කරන ලෙසත් අනෙක් පාර්ශ්වය පාලනයක් කරන ලෙසත් ඉල්ලා ඇති බවත්ය.

සමාජ ජාලා වෙබ් අඩවි චීන රටේ තහනම් කොට ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ලංකාව තුළ බොහෝ දුරට නීති පැනවීමට හැකිවන පරිදි සමාජ ජාලා වෙබ් අඩවි ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සිදුවන බවද අවධාරණය කළේය.

සමාජ ජාල වෙබ් අඩවි හරහා සහ මුහුණු පොත හරහා ජනාධිපතිවරයා ඇතුළු රටේ බහුතරයකට අපහාස වන අන්දමින් ක්‍රියාත්මක වන බවත් බොහෝ දෙනාගේ චරිත ඝාතනය කිරීම් නිසා මේ තත්ත්වය ඉදිරියට මැඬ පැවැත්විය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය නීති අණපනත් සකසන බවත් මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සමාජ ජාලා වෙබ් අඩවි පාලනයට වෙනම අංශයක්

වෙනම අංශයක් පිහිටුවා සමාජ ජාලා වෙබ් අඩවි පාලනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය පිළිබඳ ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

අමාත්‍යවරයා එසේ පැවැසුවේ මහනුවර අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිද්ධීන් පිළිබඳව ඉස්ලාම් ආගමික නායකයන් දැනුවත් කිරීමට කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල රැස්වීම් ශාලාවේදී පසුගියදා පැවැති සාකච්ඡාවකදීය.

අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද කීය.

“පසුගියදා ඇති වූ සිද්ධීන්වලදී සමාජ මාධ්‍ය ජාලා හරහා නොයෙකුත් බොරු ප්‍රචාර පළ වුණා. ඇතැම් ජාතිවාදී කණ්ඩායම් සමාජ ශාලා වෙබ් අඩවි උපයෝගි කරගෙන විශාල වශයෙන් අසත්‍ය ප්‍රචාර කළා. ඒ පිළිබඳව රජය දැඩි ලෙස අවධානය යොමු කර තිබෙනවා. වෙනම අංශයක් පිහිටුවා ඒ කටයුතු පාලනය කරන්න රජය කටයුතු කරනවා. මෙවැනි සිදුවීම් යළි ඇති නොවන්නට අප කටයුතු කරනවා.

එම සිදුවීමේදී ආරක්ෂක අංශ මඟින් යම් පසුබෑමක් ඇති වුණා නම් ඒ පිළිබඳවත් පරීක්ෂණයක් සිදු කරනවා. ඒ සඳහා පියවර ගැනීමට අගමැතිවරයාගේ ප්‍රමුඛත්වයෙන් කමිටුවක් පත් කරනවා. මෙය සැලැසුම් සහගත සිද්ධියක් නොව වාහන දෙකක් නිසා ඇති වූ සිදුවීමක්. ඉදිරියේදී මෙවන් සිද්ධියක් ඇති නොවන්න අප නීති මඟින් කටයුතු කරනවා. මේ සිද්ධියට සම්බන්ධ වැරැදිකරුවන්ට ඉදිරියේදී උපරිම දඬුවම් දෙන්න කටයුතු කරනවා. ඒ වගේම ජීවිත සහ දේපළ හානි සිදු වූ අයට වන්දි ගෙවීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

වෙබ් අඩවි 80 ක් ගැන රාජිතගේ අවධානය

ජාතිවාදය සහ ආගම්වාදය වැපිරීමට සහ රාජ්‍ය විරෝධී කටයුතු සදහා සමාජ ජාලා වෙබ් අඩවි සහ මුහුණු පොත් 80 ක් පමණ එකම ස්ථානයක සිට ක්‍රියාත්මක වන බවත්, ඒ පිළිබදව සියලු තොරතුරු අනාවරණ වී ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 March 2018 11:29