May 27, 2018

තීරණාත්මක කැබිනට් රැස්වීම අවසන්! රනිල්ගේ ආණ්ඩුවකට ශ්‍රීලනිපයේ සහය නෑ

පළාත් පාලන මැතිවරණයෙන් පසුව මේවන විට මතුව ඇති දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ජා කෙරෙන විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීම මේ වනවිට අවසන් වී තිබේ.

මෙම විශේෂ කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) පෙරවරුවේදී ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

අමාත්‍ය මණ්ඩල හමුව ආරම්භ වීමට පෙර ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් මෙහිදී ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම පිළිබඳව දීර්ඝ ලෙස අදහස් පළ කිරීමට නියමිත බවයි.

මේ අතර අමාත්‍ය මණ්ඩල හමුවෙන් පසු ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂ අමාත්‍යවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට ද නියමිතය.

එහිදී තීරණාත්මක තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසී ය.

අග්‍රාමාත්‍ය ධූරයේ වෙනසක් සිදු නොවන්නනේ නම් ආණ්ඩුවට සහය නොදැක්වීමේ ස්ථාවරය එලෙසම පවතින බවද ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ගේ හමුවක් ඊයේ රාත්‍රියේ ද කොළඹ දී පැවැත්විණි.

එහිදී ඔවුන්ගේ අනාගත දේශපාලනය පිලිබඳව දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ද අද දිනයේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් අතර හමුවක්ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව යලි තීරණාත්මක සාකච්ජාවක් අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරුන් අතර ඊයේ පැවති සාකච්ජාවේදී යහපාලන ආණ්ඩුවේ ඉදිරි පැවැත්ම සාකච්ජා කිරීම සඳහා දස පුද්ගල කමිටුවක් පත් කෙරුණු බව වාර්තා විය. එම කමිටුවේ තීරණ ද අද (14) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දීමට නියමිතය.

Rate this item
(2 votes)