May 27, 2018

තොණ්ඩමන් මහින්ද - මෛත්‍රී දෙපැත්තෙන්ම අල්ලා ගනී

නුවරඑළිය දිස්ත්‍රික්කයේ තම පක්ෂය බහුතර බලය ලබා ගත් ආයතනවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟත් බහුතර බලය නොගත් ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟත් පිහිටුවීමට සූදානම් බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.

එම කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අරුමුගම් තොණ්ඩමන් කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“ලංකා කම්කරු කොංග්‍රසය තවමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ශවකාර පක්ෂයක්. අපේ නායකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔබ දන්නවා නුවරඑළිය දිස්ත්‍රික්කයේ පෙ පක්ෂය සමහර සභාවල බහුතර බලය ලබා ගෙන ජයග්‍රහණය කරලා තියෙනවා. සමහර සභා සන්ධානගත වෙලා බලය පිහිටුවීමට හැකි අයුරින් බලය අරගෙන තියෙනවා. එම සභාවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වෙලා පිහිටුවීමට අප තීරණය කරලා තියෙනවා. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සභා 12න් 11ක බලය පිහිටුවනවා. බහුතර බලය ලැබුණු ආයතනවල බලය එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙසත් බහුතරය නොලැබුණු ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟත් එකතු වෙලා පිහිටුවන්න අපි තීරණය කරලා තියෙනවා.”

“මේ අවස්ථාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි එකම විකල්පය. ඒ නිසා තමයි අපි ඔවුන් එකතු කරගන්නේ. ජනතාවට ඔවුන් බලාපොරොත්තු වෙන දේ ඉටු වෙනවා නම් කවුරුන් සමඟ හෝ සන්ධානගත වුණත් එයාලට ගැටළුවක් නැහැ. එයාලගේ අවශ්‍යතාව මම ඉටු කරනවා නම් හරිනේ. ඒකයි බලන්න ඕනේ. ජනාධිපතිතුමා හොඳින් දන්නවා මා ගත්තු තීරණය හරි කියලා. සභාවේ බලය පිහිටුවීමට එයාලත් සමඟ එකතු වෙනවා. අපි තාමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන්. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණය කුමක්ද ඒ අනුව තමයි ලංකා කම්කරු කොංග්‍රසය කටයුතු කරන්නේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(1 Vote)