February 25, 2018

"අශ්වයයි ජොකියයි දෙන්නම මාරු කරන්න" - බන්දුල

දැන් මේ රටේ අශ්වයයි, ජොකියයි දෙන්නම මාරු නොකර මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“පසුගිය වර්ෂ 3ක කාල පරිච්ඡේදය තුළ ආර්ථිකය කළමනාකරණය පිළිබඳ වගකීම මුළුමනින්ම පාහේ පැවරිලා තිබුණේ එක්සත් ජාතික පක්ෂයට. ඔවුන් පංචවිධ ප්‍රතිපත්තියක් යටතේ ආර්ථිකය හසුරවන්න ගිය බව තමයි අපේ නිගමනය. ඒ පංචවිධ ප්‍රතිපත්තිය තමයි පළිගැනීම, බදු ගැහීම, බොරු කීම, විකිණීම, දූෂණය. මෙහි අවසාන ප්‍රතිපල තමයි පළාත් පාලන ආයතන ඡන්දයේදී ඉතිහාසයේ ගමන් මග වෙනස් කරමින් ලක්ෂ ගණන් ජනයා මේ ආණ්ඩුවේ වැරදි පිළිවෙත දාලා ගෙදර පලයන් කියලා පොහොට්ටුවට කතිරේ ගැහුවා.”

“මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පොල්ලෙල්ලක් දාලා මේ පොල් ලෙල්ලට  ඡන්දේ දෙන්න කිව්වොත් එසේ ඡන්දය දෙන්න සූදානම් පෙළ ගැසුණ ජනතාවක් රටේ හිටියා. දැන් කියනවා අපි එක්සත් ජාතික පක්ෂය වෙනම ගිහිල්ලා ගොඩ නගනවා. වෙනම ගියොත් මේ විනාසයේ ඉතුරු ටික වෙන විදිය අපි කාටත් හිතා ගන්න බැහැ. මොකද සංස්කෘතික හර පද්ධතීන් ඉදන් විනාශ කරනවා. රාජ්‍ය නොවන සංවිධාන, ඩොලර් කාක්කෝ, පිරිමි නර්ස්ලා එකතු වෙලා කරන යන මේ විකෘති වැඩපිළිවෙල වෙනස් කිරීම සඳහා රජයට රතු එළියක් පත්තු කරලා පැහැදිලිව අන්ත පරාජයක් ලබා දීලා තියෙනවා රට වැනසීම නවත්තව් කියලා. දැන් ජොකියා මාරු වුණා කියලා අශ්වයාගේ ගමන වෙනස් වෙන්නේ නෑ. දැන් මේ රටේ අශ්වයයි ජොකියයි දෙන්නම මාරු කරන්නේ නැතුව මේ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න බැහැ.  ”යැයිද ඒ මහතා පැවසීය.

Rate this item
(0 votes)