September 21, 2018

යහපාලන ආණ්ඩුව දෙදරයි: තීරණයක් ගන්නැයි ජනපති අගමැතිට දන්වයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡා ඊයේ (12) රාත්‍රීයේදී පැවති අතර පැය 02 කට අධික කාලයක් මෙම සාකච්ඡාව පවත්වා තිබේ.

ජනතා බලාපොරොත්තු සහ මැතිවරණ ප්‍රතිපල සැලකිල්ලට ගනිමින් තමාට තීරණයක් ගැනීමට සිදුව ඇති බවත් ඒ අනුව පවතින රජය තුළ දැඩි වෙනසක් සිදු කිරීමට සිදුවන බවත් මෙහිදී ජනාධිපතිවරයා අගමැතිවරයාට දැනුම්දී ඇත.

ඊට ප්‍රථම මේ තත්වය පිළිබඳ අවධානය යොමුකරමින් ප්‍රථම අගමැතිවරයාටම තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවද රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාවට එජාපය නියෝජනය කරමින් අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, මංගල සමරවීර, සාගල රත්නායක සහ කතානායක කරූ ජයසූරිය එක්ව ඇති අතර ශ්‍රීලනිපය නියෝජනය කරමින් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක සහ නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල යන මහත්වරුන්ද සහභාගීවී තිබේ.

ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ රජයේ ඇතැම් අඩුපාඩු ඇති බවත් මේවන විට රජය විහිලුවට ලක්ව ඇති බවත් ඇතැම් අයට පරාජය පුරුදු වුවද තමාට පරාජය පුරුදු නොමැති බවත්ය.

එහිදී එජාපයේ පාර්ශවයෙන් ප්‍රකාශ කර ඇත්තේ එජාප තනි ආණ්ඩුවක් පිහිටුවීමට තමන්ට හැකියාව ඇති බවයි.

ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් පිරිසක් ගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ඇති බවට එජාප නියෝජිතයින් ප්‍රකාශ කිරීමේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ එසේ වුවහොත් ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට ඇමැති ධූර ලබා නොදෙන බවයි.

නැතහොත් තමන්ට දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ සහය ලබා ගෙන එජාප ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එජාප නියෝජිතයින් ප්‍රකාශ කර ඇත.

එවිට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ දෙමල ජාතික සන්ධානය සමග එජාපය තනි ආණ්ඩුවක් පිහිටුවහොත් ව්‍යවස්ථා සංශෝධනයකට කිසිසේත් ඉඩ නොදෙන බවයි.

කෙසේ වෙතත් අවසානයේදී එජාප මහ ලේකම් කබීර් හසීම් මහතා ජනාධිපතිවරයාට සඳහන් කර ඇත්තේ ඉදිරි පැය 24ක් ඇතුළත එජාපයේ තීරණය දැනුම් දෙන බවයි.

ශ්‍රීලනිප අමාත්‍යවරුන්ද රනිල් වික්‍රමසිංහ මහතාගේ අගමැති ධූරය යටතේ ආණ්ඩුවේ සිටීමට ජනාධිපතිවරයාට අසතුට පල කර ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා හැර වෙනත් අයකු යටතේ කැබිනට් මණ්ඩලයේ සිටීමට එකගතාවය පළකර ඇත.

Rate this item
(0 votes)