February 25, 2018

අභියෝග කළ මැතිඇමතිවරුන් තනතුරු අත් හරීද? - මැතිඇමතිවරුන් ආසන පරාජය වුණේ මෙහෙමයි (VIDEO)

ආණ්ඩුවේ ප්‍රබලයින් මැතිවරණය ජය ගන්නා බව ප්‍රකාශ කළ ආසන රැසක් පරාජය වී තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළිවලදී පක්ෂ විපක්ෂ මැතිඇමතිවරු තමන්ගේ ආසනය ජය ගන්නා බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර ඇතැම් මැතිඇමතිවරු අභියෝග කළ අවස්ථාද රැසක් දැක ගන්නට තිබිණි.

කෙසේවෙතත් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව එලෙස අභියෝග කළ බොහෝ මැතිඇමතිවරුන්ට තම ඡන්ද බල ප්‍රදේශය රැක ගැනීමට නොහැකි විය.

ඒ අතර නියෝජ්‍ය අමාත්‍ය එජාප බණ්ඩාරගම සංවිධායක අජිත් පී.පෙරේරා මහතා  මැතිවරණයට පෙර ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ වැඩිම කොට්ඨාශ ප්‍රමාණයක් මම දිනනවා. මිල්දෙනිය ප්‍රාදේශීය සභාවේ වැඩිම කොට්ඨාශ ප්‍රමාණයක් මම දිනනවා.”

එහිදී ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දක්වමින් හිටපු අමාත්‍ය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා නියෝජ්‍ය අමාත්‍යවරයාට අභියෝග කරමින් සඳහන් කර තිබුණේ බණ්ඩාරගම ආසනයේ එජාපය පරාජය වන බවයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සංවිධායක ධූරය දැරූ අත්තනගල්ල ප්‍රදේශීය සභාවේ සියලු කොට්ඨාශ ජය ගැනීමට පොදුජන පෙරමුණ සමත් වූ අතර ශ්‍රීලනිප අත්තනගල්ල සංවිධායිකා හිටපු ජනාධිපතිනිය පරාජය විය.

හිටපු ජනාධිපතිනිය මැතිවරණයට පෙර දැක්වූයේ මෙවැනි අදහසකි.

“මන් දිනනවා කිව්වොත් අපි දිනනවා. අපි ස්ථිරව දිනනවා. මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායිකාව වශයෙන් හිටපු කාලයේ ඡන්ද 12ක් කෙරුවා. 11ක් දිනුවා. මේකත් දිනනවා.”

නමුත් පැවති පළාත් පාලන මැතිවරණයේ අත්තනගල්ල ආසනය ශ්‍රී ලංකා නිදහස්  පරාජයට පත් විය.

එක්සත් ජාතික පෙරමුණේ බේරුවල ප්‍රධාන සංවිධායක රාජිත සේනාරත්න මහතා බේරුවල ආසනය ඉතා ඉහලින් ජය ගන්නා බව මැතිවරණයට පෙර ප්‍රකාශ කළේය.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  මැතිවරණයට පෙර ප්‍රකාශ කළේ මෙවැන්නකි.

“අනම්මනම් මුකුත් නෑ කොට්ඨාශයෙන් කොට්ඨාශය දිනනවා. ඉතිහාසයේ ගහපු නැති ගැහිල්ලක් මේ පාර ගහන්නේ. ඒවා ගහනකොට තමන්ගේ කොට්ඨාශයේ රෑට දෙකක් දාලා බුදියගත හැකි 10 වෙනකොට. ඒ නිසා 11 උදේ වෙනකොට ගමෙන් ගමට අපි දිනනවා.”

ඊට අභියෝග කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා සඳහන් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළහොත් තමා ඉල්ලා අස්වන බවත් බේරුවල ආසනය එක්සත් ජාතික පක්ෂය පරාජය වුවහොත් රාජිත අමාත්‍යවරයා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් මැතිවරණයට පෙර පවසා තිබේ.

නමුත් බේරුවල ආසනය ද පැවති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය පරාජය පත් විය.

බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා තමන් සංවිධායක ධූරය දරන මහරගම ආසනය පිළිබඳ පැවසුවේ මෙවැන්නකි.

“දෙවියන් වහන්සේ මේ විශ්වයේ මගේ මුණ දිහා බලලා ප්‍රතිපලයක් දීලා තියෙනවා. අපේ ලැයිස්තුව මැතිවරණ කොමසාරිස් තුමා පිළිගත්තා. මේ මැතිවරණය පටන් ගන්නකොටම මන් කිව්වා අපේ පොදු හතුරා ඒකාබද්ධ විපක්ෂය නෙවෙයි, එක්සත් ජාතික පක්ෂය කියලා. අද එක්සත් ජාතික පක්ෂයත් එක්ක අද මට සටනක් තියෙනවා. මම ඒ සටන ජයග්‍රහණය කරනවා. මහරගම නගර සභාව මම ජයග්‍රහණය කරනවා.”

නමුත් පැවති මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහරගම ආසනයෙන් පරාජයට පත් විය.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 February 2018 13:10