July 23, 2018

"සිංහලයට රිදෙව්වොත් අනාගත ආණ්ඩුවටත් වරදී" - ගම්මන්පිල

කිසිදු ආණ්ඩුවක් මින් ඉදිරියට සිංහල ජාතියට රිදවමින් කටයුතු කළහොත් අත්වන ඉරණම මෙවර මැතිවරණයෙන් පෙන්වූ බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

ඒ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපි මැතිවරණ වේදිකාව පුරා දිගින් දිගටම කිව්වා ජනාධිපතිතුමාගෙයි, අගමැතිතුමාගෙයි තියෙන්නේ රංගනයක්. ඡන්දය තෙක් අපි තරහයි චිත්‍රපටියයි, ජනපතියි, අගමැතියි රගපාන්නේ මේ රණ්ඩුවට රැවටෙන්න එපා කියලා. ඡන්දය ප්‍රතිපල පිටත් වෙන්නත් කලින් අගමැතිතුමා, ජනාධිපතිතුමා හම්බු වෙලා රණ්ඩුව දැන් ඉවරයි කියලා කරට අත දාගෙන කිරිබත් කාලා 2020 තෙක් අපි එකට යනවයි කියලා තීන්දු කරගෙන තියෙන්නේ. අගමැතිතුමා ඇහුවලු ජනපතිතුමනි කඩුවෙන් මා කැපේවිදෝ කියලා. එතකොට ජනපතිතුමා කිව්වලු නාඩන් මල්ලී නාඩන් මා විහිළු කළා කියලා. අපි යෝජනා කරනවා ජනාධිපතිතුමාට හොඳම නළුවා සම්මානයත්, අගමැතිතුමාට හොඳම සහය නළුවා සම්මානයත් ලබා දිය යුතුයි කියලා ලංකාවේදී නෙවෙයි ඇමරිකාවේ පැවැත්වෙන ඔස්කා සම්මාන උළෙල, මොකද ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට රංගනයක් ඒ දෙන්නා ඉදිරිපත් කළේ.”

“පාඨලී රණවක ඇමැතිතුමාත්, රාජිත සේනාරත්න ඇමැතිතුමාත්, NGO නඩය පුන පුනා කියනවා ජනවාරි 08 ජනවරමට ආණ්ඩුව පිටපාපු නිසා ආණ්ඩුවට දඬුවම් කරන්න ජනතාව පෙළඹිලා තියෙනවා කියන පණිවිඩය තමයි ප්‍රතිඵලය විග්‍රහ කරාම පේන්නේ කියලා. මේක පට්ටපල් බොරුවක්. 2015 ජනවාරි 08 ජන වරම ක්‍රියාත්මක නොකිරීම ගැන කලකිරීමක් තියෙනවා නම් ඒ අය එකතු වෙන්න ඕනේ පොහොට්ටුව වටා නෙවෙයි ජනතා විමුක්ති පෙරමුණ වටා. මෙවර සිංහලයා ප්‍රථම වතාවට පක්ෂ වලට උඩින් ජාතිය, මව්බිම තබා තිබෙනවා. අනාගත ආණ්ඩුත් සිංහලයා රිදවන්න කටයුතු කළොත් එ ආණ්ඩු වලට වරදින බව මෙවර සිංහලයා රටට නෙවෙයි ලෝකෙටම ඇහෙන්න හඩගා කියා තියෙනවා. මම හිතන්නේ නෑ මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ වෙලාවේ පක්ෂ නායකත්වය භාර අරගෙන පුපුරන්න තියෙන බෝම්බයක් බදා ගනිවී කියලා. ජනාධිපතිවරණය පැරදිලත් ගෙදර ගියොත් තමයි සජිත් ප්‍රේමදාස මහත්තයට අලුත් ආරම්භයක් ගන්න පුළුවන්. නැත්තම් පුදනකොටම කාපි යකා වගේ එතුමා මුණ දෙන පලවෙනි ඡන්දෙම පරාජයට පත් වුණාම එතුමාගේ අනාගතෙත් කුරුවල් වෙනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)