May 27, 2018

"ආණ්ඩුවේ වෙනසක් වෙන්නේ නෑ" - එජාප සභාපති මලික් කියයි

ආණ්ඩුව ඉදිරි වසර කිහිපය තුළත් අඛණ්ඩව පවත්වා ගෙන යාමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මැතිවරණයට තවත් වසර දෙකහමාරක කාලයක් පවතින බැවින් ආණ්ඩු වෙනසක අවශ්‍යතාවක් නොමැති බවයි.

ආණ්ඩුව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා සහය දැක්වීමට කැමැත්ත පල කරන ඕනෑම පක්ෂයක් සමඟ එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ද ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කිරීමට හැකියාව පවතින බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පසුගිය පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතයේ අඩු වීමක් නොමැති බව මලික් සමරවික්‍රම අමාත්‍යවරයා  සඳහන් කර ඇත.

මේ හේතුවෙන් ආණ්ඩු වෙනසක් සිදු කිරීමට අවශ්‍ය නොවන අතර එම ප්‍රතිඵලයෙන් ජනතාව ආණ්ඩු වෙනසක් අපේක්ෂා කර නොමැති බව ද ඔහු පවසයි.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

 

Rate this item
(0 votes)