March 29, 2024

බොරුවට උස්සලා "පොලීසිය කටට චූ කළා" (Exclusive)

"මම කිසි ම දවසක හොරකම් කරපු කෙනෙක් නෙමෙයි. මගේ දරුවට කන්න දෙන්න මට හොරකම් කරන්න ඕනේ නෑ. මට හොඳට දෑතේ වැඩ කරන්න පුළුවන්. ඒත් ඇයි අපිට මෙහෙම වෙන්නේ" යනුවෙන් පොලිස් පහරදීමක් හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් ව සිටින මාදම්පේ, පනිරෙන්දාව, හීන්අගාර පදිංචි සංජීව එදිරිසිංහ (අවු:28) මහතා විමසයි.

{module LOLC}

අම්පාර, බක්කිඇල, පියංගල ප්‍රදේශයේ පදිංචි ව සිටි සංජීව රැකියාවක් සඳහා මාදම්පේ ප්‍රදේශයට පැමිණ ඇති අතර එහි දී හමු වූ එම්පී හිරුණි සමග විවාහ වී ඇත. 

එම විවාහයෙන් අවුරුදු 7 ½ ක ක පුතෙක් ද ඔවුන්ට සිටී. අශේන් නිර්මාල් නමැති ඔවුන්ගේ දරුවා මේ වනවිට ගොඩැල්ල කනිටු විදුහලේ 02 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

පනිරෙන්දාව - තඹගල්ල ප්‍රදේශයේ පා පැදි අළුත් වැඩියා කරන ස්ථානයක් පවත්වාගෙන යමින් ජීවිතය ගැට ගසා ගස් සංජීවගේ ඉරණම වෙනස් වී ඇත්තේ පසුගිය මැයි මාසයේ දී ය.

"මගේ තාත්තා අසනීපයි කියලා පණිවිඩයක් ආවා. මම තාත්තව බලන්න අම්පාරට ගිහිං ඉන්න කොට මැයි මාසේ 09 වැනි දා වෑන් එකකින් කට්ටියක් ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා. ඒ අය කිව්වේ හලාවත පොලීසියෙන් කියලයි. පස්සේ දැන ගත්තේ ඒ ආපු අය හලාවත කොට්ඨාශ නොවිසුඳුණු අපරාධ විමර්ශණ අංශයේ කට්ටිය කියලා. ඊට පස්සේ මාව බක්කිඇල පොලීසියට එක්ක ගෙන ගියා. වෑන් එකෙන් මම බිමටවත් බැස්සේ නැහැ. පොලීසියේ එක්කෙක් බක්කිඇල පොලීසියට ගිහිං ඇවිත් ආපහු හලාවතට ආවා. හලාවත පොලීසිය පිටිපස්සේ තියන ගොඩනැගිල්ලට මාව ගෙනාවා. දැන් ඉතිං දෙවියන් බුදුන් සිහි කර ගනිං කියලා තමයි වෑන් එකෙන් මම බිමට බහින කොට ඒ අය කිව්වේ.

එතන ඉදලා මට දෙන්න පුළුවන් උපරිම වද දුන්නා. ඇඳුම් ගලවලා වහලයේ එල්ලලා ගැහුවා. නොකරපු හොරකමක් ගැන තමයි මගෙන් ඇහුවේ. මම කිව්වේ හොරකම් කළේ නැහැ කියලයි.

දවස් 04 කට පස්සේ ගෙදර කට්ටියට මාව පෙන්නුවා. ගෙදරින් ගෙනත් දෙන දෙයක් ඇර වෙන කිසි ම දෙයක් අපිට කෑමට ලැබුනේ නැහැ. දවසක් මට ගහලා බිම දාලා ඉන්න කොට මම වතුර ටිකක් ඉල්ලුවා. එතන ලොකු මහත්තයා ඇවිත් හිටපං කියලා මගේ කටට මුත්‍රා කෙරුවා. ඒ වාගේ වද තමයි දුන්නේ.

මේ සොරකම සම්බන්ධයෙන් අපේ ගමේ ම ඉන්න තවත් දෙන්නෙක්ව අරගෙන ඇවිත් තිබුණා. ඒ අයටත් හොඳටම ගැහුවා. අන්තිමෙට දවස් 07 ක් තිස්සේ අපිට ගැහුවා. දවසක් මට ඇහුනා ඒ අය කියනවා අපිට වැඩේ වැරදුනා කියලා. ඒ වෙන කොට මගේ අත කැඩිලා තිබුණේ. පොලීසියේ කට්ටිය ම මාව දෙමළ වෙද මහත්තයෙක් ළඟට එක්කරගෙන ගිහිං බේත් බැන්දා. මේ ගැන කිසි ම කෙනෙකුට කියන්න එපා, කිව්වොත් මුළු පවුලටම වෙඩි තියලා, බෝම්බ ගහලා මරලා දානවා කියලා තමයි ඒ අය කිව්වේ.

එතන හිටපු අයගෙන් එක් කෙනක් හොඳයි. මම වැසිකිළියට ගිහිං සෝදා ගන්න බැරි ව ඉන්න කොට ඒ මහත්තයා තමයි ඇවිත් මට උදව් කළේ. අනිත් අය නම් දෙන්න පුළුවන් හැම වදයක් ම දුන්නා.

තවත් දවසක් එතන ඉන්න ලොකු මහත්තයා කිව්වා උඹලව මරලා බෝට්ටුවක දාගෙන ගිහිං ගල් බැඳලා මුහුදට දානවා කියලා.මේ හින්දා අපිට ආපහු ගෙදර එන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. එතන එක ම වධකාගාරයක්.

පස්සේ මැයි මාසේ 16 වැනි දා අපි ව හලාවත උසාවියට ඉදිරිපත් කළා. නීතිඥ මහත්තුරු අල්ලලා දුන්නෙත් පොලීසියෙන්. උසාවියෙන් අපිට ඇප දුන්නට පස්සේ ගෙදර ඇවිත් ඉන්න කොට මාව අල්ලගෙන ගිය එක්කෙනක් කතා කරලා කිව්වා බේත් බඳින්න හලාවතට එන්න කියලා. පස්සේ මම ත්‍රීවිල් එකක් අරගෙන පොලීසිය ළඟට ගියහ ම ඒ අය ඇවිත් බේත් අරගෙන දීලා ත්‍රීවිල් එකටත් සල්ලි දීලා යන්න ගියා.

පස්සේ ආයෙත් දවසක් මට බේත් ගන්න ඕන වුනහම මම ඒ අයට කතා කලා. එතකොට කිව්වා හවසට ගෑණි ව පොලීසියට එවපං එතකොට සල්ලි දෙන්නම් කියලා. කතා කරන හැම දවසකම කිව්වේ නෝන ව එවන්න එතකොට සල්ලි දෙන්නම් කියලා. ඒත් මහත්තයෝ අපිට එහෙම කරලා පුරුදු නැහැ.

පස්සේ මම රාගම රෝහලට ගිහිං නැවතිලා බේත් ගත්තා. මාව බලපු වෛද්‍යවරු කියන්නේ කෑම නැති ව ඉන්න කොට වද දීලා තියන නිසා බඩේ බඩ වැල් ඇකිලිලා කියලයි. ඒ වාගෙම මගේ අත්දෙක පිටි පස්සට අරගෙන බැඳලා, ඒ අත් දෙකෙන් වහලයේ එල්ලලා ගහන කොට අත්වල නහර ඇඹරිලා පණ නැති ව ගිහිං කියලයි වෛද්‍යවරු කියන්නේ.

දැන් මට රස්සවාක් කරන්නත් බැහැ. පුතා කෑම ඉල්ලන කොට අරගෙන දෙන්න සල්ලිත් නැහැ. ගෙදර තියන බඩු විකුණලා තමයි මේ දවස්වල අපි ජීවත් වෙන්නේ. මේ බලන්න මම ඉන්න ගේ දිහා. හොරකම් කළ නම් මට මීට වඩා හොඳ විධියට ඉන්න තිබුණා. ඒත් මම කිසි ම දවසක හොරකම් කරපු කෙනෙක් නෙමෙයි. අපි දුප්පත් විත්තිය ඇත්ත. ඒත් මට බිරිඳයි දරුවයි ජීවත් කරන්න හොරකම් කරන්න ඕනේ නැහැ." 

සංජීවගේ බිරිඳවන එම්පීහිරුණි (අවු:28) මහත්මිය මෙසේ පැවසුවා ය. 

"අපි අද ඉන්න තත්ත්වේ දන්නේ අපි විතරයි. තාත්ත ව බලන්න කියලා අම්පාරට ගිය මහත්තයා ව පොලීසියෙන් අරගෙන ගියා කියලා ආරංචි වුනාට පස්සේ අපි එයාව හැම තැන ම හෙව්වා. පොලීසි ගානේ ගියා. අන්තිමේට මාදම්පේ පොලීසියට ගියා පැමිණිල්ලක් දාන්න. ඒත් පැමිණිල්ල බාර ගත්තේ නැහැ. අන්තිමේට දවස් 04 කට පස්සේ තමයි එයා ව පෙන්නුවේ. ඒ වෙන කොට එයාට හොඳටම අමාරුයි. 

අද මහත්තයාට බේත් ගන්න යන්න විදියක් නැහැ. පසුගිය දවසක ගෙදර තිබුණු පා පැදිය විකුණුවා. මේ වෙන කොට හාල් ඇටයක්වත් ගෙදර නැහැ. අපි ව ජීවත් කරන්න හිටපු මහත්තයා අද ආබාධිතයෙක් වෙලා. පුතාව පාසල් යවා ගන්න විදියක් නැහැ. ගමේ අය කියන්නේ මගේ මහත්තයා හොරෙක් කියලයි. ඒත් අපි දන්නවා එයා හොරෙක් නෙමෙයි කියලා. අපිට වෙලා තියන අසාධාරණය ගැන මේ වෙන කොට පොලිස්පතිතුමාටත් පැමිණිලි කරලයි තියෙන්නේ.

සත්‍ය ලෙස ම සිදුවී ඇත්තේ කුමක් ද යන්න දන්නේ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් සහ පහර කෑමට ලක් වූ බව කියන පිරිස් පමණකි. කිසියම් අයෙක් අත්අඩංගුවට ගත් විගස පහරදීමට හෝ වෙනත් ශාරීරික පීඩාවන් කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියාවක් ඇද්ද යන්න සම්බන්ධයෙන් මෙහි දී අප සිතා බැලිය යුතු ව ඇත.

නීතිය සුරකින මුවාවෙන් වෙනත් වාසි හෝ තම අවශ්‍යතාවයන් සපුරා ගැනීමට කිසියම් අයෙකු උත්සහ කරනවා නම් එය පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානියක් වන්නේ ය. මන්ද මහජන මිත්‍රශීලී පොලීසියක් අපට අවශ්‍ය නිසාවෙනි.

පුත්තලම - ජුඩ් සමන්ත 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 17 July 2014 09:44