January 19, 2018

ගුරුවරිය දණ ගැස්වු මන්ත්‍රීගේ පුතා තරුණයකුට පහර දෙයි

නවගත්තේගම නගරයේදී තරුණයකුට පහර දුන් බව කියන ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර  මහතාගේ පුතා සහ තවත් තරුණයකුව රුපියල් ලක්ෂ 2 ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්.විජේතුංග මහත්මිය නියම කළාය.

මෙසේ ඇප මත අධිකරණය විසින් මුදා හැර ඇත්තේ නවගත්තේගම පදිංචිකරුවන් වන අයේෂ් ශානක කුමාර සහ තරංග මධුශංක යන දෙදෙනෙකුටය.

පසුගිය 10 වැනි දා නවගත්තේගම ඉන්ධන පිරවුම්හල අසලදී මෙම ගැටුම සිදුවී ඇත.

පහර කෑමට ලක්ව ඇති නවගත්තේගම පදිංචිකරුවෙකු වන විද්‍යාපති මුත්තලාගේ බුද්ධික ශාලිත බණ්ඩාර සුභසිංහ (19) යන අය නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇත. 

පසුවම ඔහු සිය  කැමැත්තෙන් නවගත්තේගම රෝහලෙන් පිටත්ව ගොස් ප්‍රතිකාර සඳහා  කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී ඇත.

පහර කෑමට ලක්ව ඇති තරුණයා සහ සිද්ධියට සම්බන්ධ අනෙකුත් තරුණයින් දෙදෙනා අතර පෙර අමනාපයක් තිබී ඇති බවත්, මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ එය බවත් පොලීසිය කියයි. 

නවගත්තේගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි. 

Rate this item
(1 Vote)
Last modified on Friday, 12 January 2018 13:34