October 16, 2018

මහරගම ඇතුළු තවත් පළාත් පාලන ආයතන 3ක පෙත්සම් විභාගය හෙට

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්‌ටුව ලකුණෙන් මහරගම නගර සභා මැතිවරණයට සහ තවත් පිළිගත් දේශපාලන පක්‍ෂ 02 කින් හා ස්‌වාධීන කණ්‌ඩායමකින් පළාත් පාලන ආයතන 03 ක මැතිවරණවලට තරග කිරීමට භාරදුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්‌ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් ලබන 15 දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

කොළඹ නගර සභා මැතිවරණයට ජාතික ජනතා පක්‍ෂයෙන්ද, මොරටුව නගර සභා මැතිවරණයට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් සහ ස්‌වාධීන කණ්‌ඩායමක්‌ද තරග කිරීමට ඉදිරිපත් කළ පෙත්සම් විභාගයද එදින පැවැත්වේ.

මොරටුව ස්‌වාධීන කණ්‌ඩායමේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්‌ෂේප කිරීමට එරෙහිව පෙත්සම ගොනු කරනු ලැබුවේ එම කණ්‌ඩායම් නායක මොරටුව කොරලවැල්ලේ පදිංචි ප්‍රියන්ත මැන්ඩිස්‌ මහතා විසිනි.

මෙම පෙත්සම් ඊයේ අභියාචනාධිකරණයේ සභාපති එල්.ටී.බී. දෙහිදෙණිය සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන මහත්වරු හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබුණ නමුත් ජනවාරි 15 දාට කල් තබනු ලැබුවේ පෙත්සම්කරුවන් හා වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සාකච්ඡා කොට ඇතිකරගත් එකඟතාවකට අනුවයි.

ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා සහ අධිනීතිඥ කණිෂ්ක විතාරණ යන මහත්වරු මහරගම පෙත්සමේ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන් ඔබේසේකර මහතා එකී අපේක්‍ෂක නාම යෝජනා පත්‍ර භාරගැනීම ප්‍රතික්‌ෂේප කළ මැතිවරණ තේරීම් භාර නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියේය.

එම පෙත්සම් විභාගය කල් තැබීමෙන් පසුව කළ විමසුමකදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අර්ජුන් ඔබේසේකර මහතා පැවසුවේ එකී නාම යෝජනා පත්‍ර ප්‍රතික්‌ෂේප කිරීමට මැතිවරණ තේරීම් භාර නිලධාරීන් ගත් තීරණ නිවැරැදි සහ මැතිවරණ නීතිරීතිවලට අනුකූල බව රජයේ නීතිපතිවරයා දරන ස්‌ථාවරය බවයි.

පෙත්සම් විභාගයට ගත් විට නීතිපතිවරයා දරන ස්‌ථාවරය ගැන තමා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඔබේසේකර මහතා කීය.

Rate this item
(1 Vote)