January 19, 2018

කච්චතිව් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය පෙබරවාරි 23

කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල‍්‍යය ලබන පෙබරවාරි මස 23 හා 24 යන දිනවලදී පැවැත්වීමට තීරණය කොට තිබේ.

මෙවර වාර්ෂික මංගල‍්‍යය සඳහා ඉන්දියානු බැතිමතුන් හා ශ්‍රී ලාංකික බැතිමතුන් 15000ක් පමණ සහභාගී වනු ඇතැයි අපේක්ෂා කරයි.

එම බැතිමතුන්ට අවශ්‍ය සියලු පහසුකම් සලසා දීමට අවශ්‍ය විදිවිධාන සාකච්ඡා කිරීමට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේ දී විශේෂ සාකච්ඡාවක් 9 දා පැවැත්වුණි.

මෙවර කච්චතිව් දූපතේ වාර්ෂික මංගල‍්‍යය පවත්වනු ලබන්නේ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනඥයින් පිරිසක් විසින් මෙම දූපත ආපසු ඉන්දියාවට ලබා ගත යුතු බවට  විශාල අරගලයක් කරමින් සිටින අතරතුරයි.

1973 වසරේදී ඉන්දියාව විසින් සිරිමා-ශාස්ත්‍රී ගිවිසුමට අනුව කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට පවරාදීමෙන් පසුව වසරකට එක්වරක් පමණක් ඉන්දීය ජාතිකයින්ට වීසා ලබා ගැනීමකින් තොරව මේ දූපතට පැමිණිය හැකි අතර එම දිනය වන්නේ කච්චතීව් දූපතේ වාර්ෂික මංගල‍්‍යය පැවැත්වෙන දිනයයි.

ශාන්ත අන්තෝනි මුනිදුන් ධීවරයින්ට අධිපතිත්වය දරණ දෙවියෙකු ලෙස ධීවරයින් අතර දැඩි විශ්වාසයක් පවතින නිසා ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව විශාල වශයෙන් කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ වාර්ෂික මංගල‍්‍යය සහභාගි වෙති.

මේ සියලු බතිමතුන්ට අවශ්‍ය ආහාර පාන,පානීය ජලය ,වෛද්‍යාධාර,සනීපාරක්ෂක පහසුකම් සියල්ල ලබා දෙන්නේ  නාවික හමුදාව මඟිනි.

 

Rate this item
(1 Vote)