July 22, 2018

"එච්චරම පිළියමක් නෑ" රාජිත පිළිගනී - රාජගිරියේ තවමත් ට්‍රැෆික්

රාජගිරිය ගුවන් පාලම වාහන තදබදය  එක අවම කර ගැනීමට සෑදුවද තවම වාහන තදබදය එලෙසෙම පවතින බවට මාධ්‍යවේදීන් සිදු කළ විමසීමකදී සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

“ඕක පළවෙනි ස්ටේජ් එක විතරයි. ඔතනින එහාට යනවා දිගටම. අතුරුගිරියට වෙනකන් තව එකක් එනවා. ඒක සම්බන්ධ වෙනවා අර හරස් වටරවුම් මාර්ගයත් එක්ක. එතකොට තමයි සම්පුර්ණ රිලීස් එක එන්නේ. පළවෙනි ස්ටේජ් එකේ නාවල හංදියේ තියෙන තදබදය ඉවත් කිරීම. එතන ඔක්කොම වාහන ගිහිල්ලා එතනින් හරවන ඒවයි, එහා පැත්තට යන එකයි. ඒ ඔක්කොම ඇති වුණේ එකටනේ. දැන් කෙලින්ම යන කට්ටියට දීලා තියෙනවා. එතකොට කෙටි කාලයක අඩුවක් තියෙනවා තදබදය. නමුත් ඊට ඉස්සරහට එන තදබදයට එච්චරම පිලියමක් නැහැ.”

රාජගිරිය මංසන්ධියේ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් ඉදි කෙරුණු ගුවන් පාලම පසුගියදා (08) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත විය.

නමුත් අපේක්ෂිත අන්දමට වාහන තදබදය අවම කර ගැනීමට හැකියාවක් ලැබී නැත. පසුගිය දින කිහිපයේ  මෙන්ම අද උදෑසනද දැඩි රථ වාහන තදබදයක් පැවතිණි.

මෙම පාලම විවෘත කළද තවම එහි වැඩ කටයුතු සියයට සියයක්ම අවසන් වී නොමැත.

මෙම ගුවන් පාලම රාජගිරිය ප්‍රදේශයෙන් රාජගිරිය හා නාවල පාර සම්බන්ධ කොට ඉදි වූවා නම්  මෙම තදබදය අවම කර ගැනීමට හැකියාවක් පවතින්න තිබූ බවට මතයක් පළ විය.

මෙම ගුවන් පාලම අවුරුද්දකට කලින් වැඩ නිම කළ අතර එය සිදු වී ඇත්තේ බුත්ගමුව හා සරණ පාරට දීර්ඝ වීමට තිබූ මෙම ගුවන් පාලම මැද්දෙන් නවත්වා මෙය කොට කිරීමෙනි.

ඒ පිළිබඳ ජනතාවගෙන් සිදු කළ විමසීමකදී ඔවුන් මෙසේ අදහස් දැක්වීය.

“තාම මේක හරියට ඇරේන්ජ් කරලා නැති නිසා ට්‍රැෆික් එක තියෙනවා තාම. සිග්නල් ලයිට් දානකොට සමහරවිට හරි යන්නත් පුළුවන්.”

“තාම මේක ඉවර නැහැනේ පාලමේ වැඩේ.සාර්ථක නැහැනේ.”

“මම හිතුවා මීට වඩා අඩුවෙයි කියලා. සමහරවිට මෙතන තවම කලර් ලයිට්ස් එහෙම දාලා නැහැ. ඒවා ටික ඔක්කොම සම්පුර්ණම කම්පිලිට් කලාම හරි යයි සමහර විට.”

“ට්‍රැෆික් එක දෙගුණයක් වැඩියි”

“හොඳයි, සාර්ථකම නැහැ.”

“ට්‍රැෆික් එක එන්න එන්නම වැඩි වගේ. පාලම උඩ ට්‍රැෆික් ඒකනේ.”

“පාලම හැදුවයි කියලා වෙනසක් නැහැනේ. ට්‍රැෆික් එක වැඩියි.”

“පොඩි වෙනසක් තියෙනවා. එච්චර ලොකු වෙනසක් නැහැ.”

මෙලෙස මගීන් වැඩිදෙනකගේ අදහස වූයේ පාලමේ වැඩ නිසියාකාරව නිම කර නොමැති හෙයින් තවමත් බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොමැති බවයි. නමුත් සියලු කටයුතු නිසියාකාරව නිම වූ පසු මාර්ගය තුළ පවතින රථ වාහන තදබදය අවම කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇති බව අපේක්ෂා කරයි.

 

Rate this item
(0 votes)