November 22, 2017

මංගලගේ අයවැයේ බියර් සහනයට රාජිතගේ විරෝධය - බියර් කොම්පැණියෙන් පෝස්ටර් ව්‍යාපාරයක්?

මුදල් ඇමැතිවරයා බියර් සඳහා ලබාදී තිබෙන සහනයට සෞඛ්‍ය ඇමැතිවරයා වන තමන් එකඟ නොවන බවද එම යෝජනාව ඉවත්කර ගන්නා ලෙස මංගල සමරවීර ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසූවේ ඊයේ (13) පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්‌වෙමිනි.

ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී මත්පැන් භාවිතය ඉහළ ගොස්‌ ඇතැයි මුදල් ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත්තේ වැරදි දත්ත පදනම් කරගෙන බව රාජිත සේනාරත්න මහතා පැවසීය.

බියර් මිල අඩුකිරීමෙන් පාසල් ළමයින්ද ඊට යොමුවිය හැකි බව සෞඛ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

මංගලගේ අයවැය “බියර් අයවැයක්“

මේ අතර ජාතික සංඝ සම්මේලනය ඊයේ(13) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පුජ්‍ය පාහිංයගල ආනන්ද සාගර හිමියන් පැවසූවේ මෙවර අයවැයෙන් බීර මිල අඩු කිරීමට ගත් යෝජනාව හරහා මෙරට තරුණ පරපුර මත්පැන් පානයට යොමුවීමේ ප්‍රවනතාව වැඩිවිය හැකි බවයි.
එහිදී පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි මෙසේද පැවසී ය.

“මංගල සමරවීර අමාත්‍යවරයා ගෙනල්ලා තියෙන අය වැය අපි හදුන්වන්නේ බියර් අය වැයක් හැටියට. දැනට වෙලා තියෙන තත්ත්වයක් තමයි අරක්කු සියයට 1.5 කින් වැඩි වෙලා තියෙනවා. මේක අස්සේ සොෆ්ට් බියර් කියලා එකක් තියෙනවා. ඒ බියර් එක 40.0 කින් අඩු කරලා තියෙනවා. ස්ටොන් බියර් කියලා තව එකක් තියෙනවා ඒක අඩු කරලා තියෙනවා 33.3 % කින්. බියර් භාවිතය කියන්නේ මේ රටේ ළමා පරපුරට තමයි මේක ඉලක්ක කරලා තියෙන්නේ.“

“මේ කොළඹ පෝස්ටර් ගහලා තියෙනවා බියර් සමාගම් විසින් කසිප්පු ජාවාරම්කරුවන්ගේ කුමන්ත්‍රණයක් තමයි මේ බියර් මිල වැඩි කරන්න කියලා කියන්නේ. මේක ගහන්නේ මේ රජයෙන් නෙමෙයි. මේක ගහන්නේ බියර් කොම්පැණියෙන්. කොච්චර තරමක් ද කිව්වොත් මේක අඩු කරනවා මේ වනවිට 250 ක විතර බියර් එකක් රුපියල් 150 දක්වා අඩු වෙලා. මෙයාලා මේ පොවන්නේ මධ්‍යසාර භාවිත නොකරන විශාල පිරිසක් ඉන්නවා. ඒ පිරිස මත්ද්‍රව්‍යයට ඇබ්බැහි කරගන්නා වූ මහා අවසනාවන්ත ඛේදනීය තත්ත්වය.“ යැයි ද ඒ හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

Rate this item
(0 votes)