October 19, 2017

තරුණයාට පහර දුන් ASPට මාතරට මාරු වීමක්

හම්බන්තොට විරෝධතාවක් අතරතුරදී අත්අඩංගුවට ගත්  තරුණයකුට ප‍්‍රසිද්ධියේ  පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි මාතර කොට්ඨාසයට මාරුකර ඇත.පොලිස් කොමිසමේ නියෝගයක් මත මෙම මාරුවීම දී ඇතැයි වාර්තා වේ.

හම්බන්තොට  වරාය සහ මත්තල ගුවන් තොටුපොළ දීර්ඝ කාලීන බදු පදනම යටතේ  ඉන්දියාවට  පැවරීමට  එරෙහිව හම්බන්තොට දී ඉකුත් 6 වැනි දා මෙම විරෝධතාව පැවැත්විණි

මේ සිද්ධිය සම්බන්ධයෙන්  පොලිස්පතිවරයාගේ නියමයෙන් ගාල්ල නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ  පරීක්ෂණ ආරම්භ කර ඇති අතර එම පරික්ෂණය  සිදුකරන අතරතුර මෙම ස්ථාන මාරුවීම ලබා දී ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට ප‍්‍රකාශ කිහිපයක්ම සටහන් කරගෙන ඇති අතර  සහකාර පොලිස් අධිකාරි තුෂාර දළුවත්ත මහතාගෙන් ද ප‍්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව එම පරීක්ෂණ වාර්තාව පොලිස්පතිවරයා වෙත ලබා දීමට නියමිතව ඇත.

Rate this item
(0 votes)
Last modified on Friday, 13 October 2017 15:43