October 19, 2017

සම්බන්දන්ගෙන් විශේෂ ඉල්ලීමක් - ජනපතිට අගමැතිට ලිපියක් යවයි

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂනායක ආර්.සම්බන්දන් මන්ත්‍රීවරයා ඊයේ (12) ජනාධිපතිවරයාට හා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවා තිබේ.

එම ලිපියේ සදහන් කොට ඇත්තේ ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන රදවාගෙන සිටින පිරිස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන ඔවුන්ගෙන් ආරක්ෂක අංශ වද බන්ධනයට ලක් කොට ලබාගත් පාපොච්චාරණයන් ඔස්සේ ඔවුන්ට චෝදනා ඉදිරිපත් කිරීම අසාධාරණ ක්‍රියාවක් බවයි.

දේශීය හා ජාත්‍යන්තර නීති රෙගුලාසිවලට අනුවද ජගත් මානව හිමිකම් මණ්ඩලයේ නිර්දේශයන්ටද අනුව ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමට බැදී සිටින අතර එවැනි පසුබිමක් මත දැනට වසර ගණනාවක්ම අත්අඩංගුවේ තබාගෙන සිටින පිරිසට එරෙහිව නීති මගින් කටයුතු කොට ඔවුන්ව නිදහස් කිරීමට පියවර ගත යුතුව ඇතැයිද එම ලිපියේ සදහන් කොට තිබේ.

රජය මගින් අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කොට එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් 12000 ක් පමණ නිදහස් කළ අවස්ථාවේදී ඉතාම දරුණු අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් ඒ අතර සිටි නමුත් දැනට අත්අඩංගුවේ සිටින පිරිස් අතර සිටින්නේ සැකකරුවන් පමණක් බවද ආර්.සම්බන්දන් මන්ත්‍රීවරයා සදහන් කොට තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් වෙත පොදු සමාවක් ලබාදුන් ආකාරයට මේ පිරිසටද පොදු සමාවක් ලබාදිය හැකි බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා එය එසේ තිබියදී වවුනියාව මහාධිකරණයේ එල්.ටී.ටී.ඊ.සැකකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ඇති නඩු විභාග සාක්කි කරුවන්ට ආරක්ෂාවක් නොමැති බව කියමින් අනුරාධපුර මහාධිකරණය වෙත මාරු කිරීම යුක්ති සහගත නොවන බවද පෙන්වා දී තිබේ.

මෙම දෙමළ දේශපාලන සිරකරුවන්ගේ ප්‍රශ්නය නිසා උතුරු ප්‍රදේශය තුළ හර්තාල් ව්‍යාපාර හා විරෝධතා දිගින් දිගටම සිදුවන තත්ත්වයක් පෙනෙන්නට ඇති හෙයින් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම රටේ අවශ්‍යතාවයක් ලෙස සලකා ඊට යම් පියවරක් අනුගමනය කරණ මෙන් ආර්.සම්බන්දන් මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලීමක් කොට තිබේ.

(දිනසේන රතුගමගේ)

Rate this item
(0 votes)
Last modified on Thursday, 12 October 2017 16:56