October 19, 2017

දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කරයි - ලංගම සේවකයන්ගේ නිවාඩු අවලංගුයි

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බව ප්‍රවාහන නියෝජ්‍ය  අමාත්‍ය අශෝක අබේසිංහ පැවැසීය. 

දුම්රිය රියැදුරු වර්ජනය  සහ ඒ පිළිබඳ අමාත්‍යාංශයේ ඉදිරි ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ කරුණ අනාවරණය කළේය.

ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ මේ සම්බන්ධයෙන් දැන් සාකච්ඡාවක් පැවැත්වෙන බවත් වර්ජනයේ නියුතු දුම්රිය රියැදුරන්ට හා නියාමකයින්ට වර්ජනය අත හැරීමට පැයක කාලයක් ලබා දී ඇති බවත්  ඒ කාල සීමාව ඇතුළත වර්ජකයන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරන බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

එමෙන්ම ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ අඛණ්ඩව වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

කෙසේවෙතත් මගීන්ට සිදුව ඇති අපහසුතාවය හේතුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය හා ඒකාබද්ධව ප්‍රවාහන සේවා සැපයීමට පියවර ගෙන ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ මහතා පවසයි.

දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් පූර්ව දැනුවත් කිරීමකින් තොරව ඊයේ (11) රාත්‍රියේ මෙම වැඩවර්ජනය ආරම්භ කළේ දුම්රිය රියදුරු සහායකවරුන් බඳවාගැනීමේ පටිපාටිය සම්බන්ධයෙන් මතුවූ ගැටළුවක් මුල් කරගනිමින්ය.

වර්ජනය හේතුවෙන් අද (12) උදෑසන ධාවනය වීමට නියමිතව තිබු කාර්යාල දුම්රිය කිසිවක් ධාවනය නොවු අතර මේ හේතුවෙන් පාසල් දරුවන්, කාර්යාල සේවකයින් ඇතුළු දුම්රිය භාවිත කරන මගීන් දැඩි ලෙස අපහසුතාවයට පත්ව සිටියේය.

මෙම වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ දුම්රිය ගමන් වාර 140ක් අත්හිටුවා ඇති අතර අද ක්‍රියාත්මක වූයේ දුම්රිය ගමන් වාර 12ක් පමණක් බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය ප්‍රකාශ කළේය.

සේවයට වාර්තා කරන සේවකයින් යොදවා උපරිම දුම්රිය ගමන්වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය දුම්රිය ගමනාගමන අධිකාරී වී.එස් පොල්වත්තගේ මහතා පවසයි.

මේ අතර පවතින වර්ජනයත් සමඟ ජනතාව මුහුණ දෙන අපහසුතාවය සැළකිල්ලට ගෙන ලංකා ගමනාගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධ සේවාවක් සැපයීමට පියවර ගෙන ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව ලංකා ගමනාගමන මණ්ඩලයේ  සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට මෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ විශේෂ කාලසටහනක් යටතේ ධාවනය කිරීමටද අද පැවති සාකච්ඡාවකදී තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍යාංශය පැවසීය.

මේ අතර පෞද්ගලික බස් රථ සඳහා මාර්ග බලපත්‍ර රහිතව ධාවනයට අවස්ථාව සැලසීමටද ජාතික ගමනාගමන කොමිෂන් සභාව එකඟ වී තිබේ.කෙසේ වෙතත් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් පෙන්වා දෙන්නේ සිය ගැටළු සඳහා විසදුම් ලබා දෙන තෙක් අඛණ්ඩව සිය වර්ජනය දියත් කරන බවයි.

 

Rate this item
(0 votes)