October 19, 2017

ගම්මන්පිල ඇතුළු පිවිතුරු හෙළ උරුමයේ සභිකයන් ඇස් දන් දෙයි

පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඇතුළු එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් සහ කොළඹ දිසා සංවිධායකවරුන් පිරිසක් අක්ෂිදාන මුලස්ථානයේදී ඇස් සහ සිරුරේ කොටස් දන්දීමේ පොරොන්දු පත්වලට ඊයේ (11) අත්සන් තැබුහ.

ඇස් දන්දීමේ ප්‍රවණතාවෙහි අඩුවක් ඇතිවී තිබෙන බවත් එම පුණ්‍ය කටයුත්ත යළිත් සමාජගත කිරීමේ අරමුණින් මෙසේ ඇස් දන් දීමට තීරණය කළ බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.

එහිදී ඒ මහතා මෙසේ වැඩිදුරටත් අදහස් දැක්විය.

“ශ්‍රී ලංකා අක්ෂිදාන මුලස්ථානයට ඇස් සහ ශරීර කොටස් මෙම සංගමයට දන්දීලා සිරුර ඉවත් වුණත් සිරුර ජිවත් කිරීමේ අවස්ථාව තියෙනවා කියන එකත් තමන්ට හානියක් නොවී තමන්ගේ මරණයෙන් පස්සේ දානමය පිංකම කරන්න පුළුවන් කියන පණිවුඩයත් රටට ලබා දෙන්න අපි අවේ.අපි අහලා තියෙනවා බෝසතාණන් වහන්සේ බුදුබව පතා ඇස්,ඉස්,මස් දන් දුන්නා කියලා.අපේ රටේ අදත් නිරන්තරයෙන් ලේ,වකුගඩු දන් දෙනවා.නමුත් ඇස් දන් දීමේ ප්‍රවණතාවෙහි අඩුවක් ඇතිවී තිබෙන ආකාරය දුටු නිසයි එය යළිත් සමාජගත කිරීමේ අරමුණින් අක්ෂිදාන සංගමයට ඇස් ඇතුළු සිරුරේ පටක කොටස් දන්දීම සඳහා පැමිණියේ.”

“මේ ගැන උනන්දුවක් දක්වන අයට කියන්නේ තමන්ට හානියක් නොවී මේ පිංකම කරන්න පුළුවන්.කෙනෙක් මියගියොත් පැය හතරක් ඇතුළත ඇස් දෙක ලබා ගත යුතු නිසා අක්ෂිදාන සංගමය නිකුත් කළ කහපාට කාඩ්පතක් තිබෙනවා නම් වහාම සංගමයට දැනුම් දෙන්න.එහෙම වුනොත් විතරයි එම දානමය පිංකම ඵල සහිත වෙන්නේ.”යනුවෙන්ද ඒ මහතා කියා සිටියේය.

Rate this item
(0 votes)